තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන්ට පත්වීම් හා උසස්වීම්

පෙබ 20, 2020

    තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් ස්ථානාධිපතිවරුන්ට පළමු පෙළ උසස්වීම් ලබා දීම හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ.

    ඒ අනුව උප තැපැල් ස්ථානාධිපතිවරුන් 693ක් සහ පළමු ශ්‍රේණියට උසස් කරන ලද තැපැල් ස්ථානාධිපතිවරුන් 300ක් සඳහා නව පත්වීම් සහ උසස්වීම් ලබා දීම සිදු කෙරිණ. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවුඩයක් එක් කිරීමෙන් සඳහන් කළේ 1798 දී ලන්දේසීන් විසින් තැපැල් කාර්යාල පිහිටුවීමෙන් පසු ආරම්භ වූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අවුරුදු 224 ක සාඩම්බර ඉතිහාසයක් ඇති ආයතනයක් බවයි.

    එමෙන්ම ලාංකීය ජන සමාජයට ඉතාමත් සමීපතම රාජ්‍ය ආයතනය මෙය වන බවත්, සිදු කරනු ලබන විශිෂ්ට සේවාව ඇගයීමක් වශයෙන් හා දිරි ගැන්වීමක් වශයෙන් මෙම උසස්වීම් හා ස්ථීර පත්වීම් ලබා දීම තැපැල් දෙපාර්තමේන්තුවේ නව සන්ධිස්ථානයක් වශයෙන් හදුවා දිය හැකි බවත් සඳහන් කර තිබිණි.

    මෙම අවස්ථාවට සහභාගි වූ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණයට තබා එවන් සිතිවිල්ලක්වත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට නොමැති බවත් අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘වැඩකරන රටක් ඇති කිරීමට’ නම් රාජ්‍ය සේවකයා තෘප්තිමත් ව තැබිය යුතු යි.තෘප්තිමත් රාජ්‍ය සේවකයන් බිහි කිරීම තුළින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව උපරිම අයුරින් යොදාගන්නට පුළුවන්. එය සංවර්ධනයේ ලා සෘජුවම බලපාන කරුණක්.ඒ වගේම මෙවර සිංහල අලුත් අවුරුද්දට පෙර රජය විසින් ගෙවිය යුතු හිඟ බිල්පත් සියල්ල ගෙවා දමන්නට කටයුතු කරනවා.

    ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයන්ට එය විශාල ශක්තියක් වේවි.ඒ සඳහා වෙනම පරිපූරක ඇස්තමේන්තුවක් ද සම්මත කරගැනීමට කටයුතු කරනවා.පසුගිය කාලයේ දිගින් දිගට ම රටේ නිෂ්පාදන අංශ කඩා වැටිලා. මේ වැටුණු වැටිල්ල දවසකින් දෙකකින් යථා තත්ත්වයට ගේන්න අමාරුයි.තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් ඉපයිය හැකි අංශ බොහොමයක් හඳුනාගෙන ඒවා පුද්ගලික අංශයට ලබා දී තිබෙනවා.

    නමුත් මේ සියල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතට ගෙන තැපෑලට එම ආදායම උපයා ගැනීමට ත් ඒ සඳහා දෙපාර්තමේන්තු සේවකයන් ම යොදවා ගැනීමට කටයුතු කිරීමට වැඩපිළිවෙළක් අපි දැන් හදලා ඉවරයි. ඒ නිසා කිසි ම අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණයට තබා එවැනි සිතිවිල්ලකවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නැහැ. විශේෂයෙන් ම තැපැල් භාණ්ඩ බෙදා හැරීම, තැපැල් ස්ථානවලට ඩිජිටල් යටිතල පහසුකම් ලබා දීම, කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම ආදිය සැලසුම් සහගතව කරගෙන යනවා යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාවට එක්වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා සඳහන් කළේ තැපැල පෞද්ගලීකරණය කරන්නට මේ රජය කිසිසේත්ම කටයුතු නොකරන බවත්, රජයට ලාභ ලබන ආයතනයක් බවට කටයුතු කරන බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ එක්වෙමින් තැපෑල නවීකරණය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්යධ අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 08:52

    Latest News