UNHRC යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වේ; අගමැති (වීඩියෝ)

පෙබ 19, 2020
  • මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ 30 / 1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද සවස නිකුත් කළ නිවේදනය මේ බව සඳහන්. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධව විශේෂ පැහැදිලි කිරීමක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ නිවේදනය නිකුත් කර තිබේ. අප දැන් සිටින්නේ 21 වැනි සියවසේ වුවද, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදුවූ සාමූහික දඬුවම් සිහි ගන්වමින් කිසිදු වරදක් සම්බන්ධව චෝදනාවකට හෝ ලක්වී නොමැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ සහ දරුවන් මත ද අමෙරිකාව අදාළ තහංචිය පනවා ඇති බව, නිවේදනයේ සඳහන්.

    අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙහි සාධාරණය කුමක්දැයි ජනතාව තීන්දු කළ යුතු බවයි. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කළ ද එම චෝදනා මොනවාදැයි කිසිවෙකු නොදන්නා බව නිවේදනයෙන් පෙන්වා දී තිබේ. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වන තෙක් අපරාධයකට චෝදනා ලැබූවෙකු වුවද, නිර්දෝෂි ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන්. එහෙත්, ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නොමැත.

    ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අමෙරිකාවට දැනටමත් දැඩි විරෝධය පළ කර ඇති බව මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවේදනයෙන් කියා සිටී. වෙනත් රටවලට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සාමාජිකයන් මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් ලෙස නම් කිරීමට අවකාශ ලැබුණේ එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසයි.

    යුද්ධය අවසන් වූ කාලයේ සිට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශ්ව විසින් එල්ල කරන ලද පදනම් විරහිත සියළුම චෝදනා එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ යන යහපාලන හවුල විසින් පිළිගෙන තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ, සියලු කරුණු සැලකිල්ලට ගෙන වත්මන් ආණ්ඩුව 30/1 යෝජනාව ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වා ගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 20:03

    Latest News