හිටපු නාවික හමුදාපති, ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවට

පෙබ 18, 2020

    සාක්‍ෂිකරුවන්ට බලපෑම් කොට, එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ තමන්ට, විවිධ අපරාධ චෝදනා ගොනු කළ බව හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ශානි අබේසේකර සහ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා යන අය, යහපාලන ආණ්ඩුවේ උවමනාකම් මත එය සිදු කළ බවයි, ඔහු කියා සිටියේ. කරන්නාගොඩ මහතා, ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ, අද මේ බව සඳහන් කලා. 2015 ජනවාරි 8 වන දින සිට, 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කර, තොරතුරු ලබාගැනීම සඳහා මෙම කොමිෂන් සභාව ස්ථාපනය කෙරුණා. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා, අමෙරිකානු රජය සමඟ ගිවිසුම්වලට එළඹ මෙරට හමුදා යුද අපරාධ කළ බවට ඒත්තු ගැන්වූ බවයි, ඔහු සඳහන් කළේ.

    හිටපු ආරක්‍ෂක ලේකම් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යන ප්‍රමුඛ පුද්ගලයන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන යාමට උනන්දු වූ බව, ඔහු අද සාක්‍ෂි දෙමින් කියා සිටියා. ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමට තමාගේ නායකත්වය යටතේ නාවික හමුදාව වැඩි මෙහෙවරක් සිදු කිරීමට පියවර ගත් බව සඳහන් කළ හිටපු නාවික හමුදාපතිවරයා, විශේෂ ආරක්‍ෂක ක්‍රම උපයෝගි කරගනිමින්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමට සුවිහේෂි දායකත්වයක් ලබාදුන් බවද සඳහන් කළා. කරන්නාගොඩ මහතා හෙට පෙරවරුවේ නැවතත් සාක්‍ෂි දීමට නියමිතයි. එමෙන්ම, කොමිසම හමුවේ හෙට රියද් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ද සාක්‍ෂි දීමට නියමිත බව, එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News