කළුතර, පානීය ජලයට ලවණ මිශ්‍රවීමෙන්ම පවුල් රැසකට පීඩා (වීඩියෝ)

පෙබ 18, 2020
  • කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට ලවණ මිශ්‍රවීම නිසා ප්‍රදේශ රැසක පවුල් පනස් තුන් දහසක් පමණ පීඩාවට පත්ව සිටිනවා.

    ජනතාව පවසන්නේ, වියලි කාලගුණය සහිත බොහෝ කාලවලදී මේ තත්වයට මුහුණ පෑමට සිදුවන බවයි. පානදුර, කළුතර, දොඩංගොඩ, බේරුවල, මිල්ලනිය ඇතුළු ප්‍රදේශ රැසක නල ජලයට ලවණ මුසුවීම දැඩි ගැටලුවක් වී තිබෙනවා. වියළි කාලවලදී කළු ගඟේ ජල මට්ටම පහළ යාමෙන් ගංගා ජලයට කරදිය මුසුවීම ඊට හේතුවයි. කැලිඩෝ වෙරළ තීරය විනාශවීම මේ තත්වයට හේතුව බවයි වාර්තා වන්නේ. අප වාර්තාකරු සඳහන් කළේ, පසුගිය ගංවතුර සමයේ ජලය බැසයාම සඳහා මොය කට පළල් කිරීමත් සමඟ ගඟත්, මුහුදත් එකම ජලාශයක් ලෙස පවතින බවයි. මුහුදු වෙරළේ සිට කිලෝ මීටර් 10ක් දුරින් පිහිටි කළු ගඟේ කෙත්හේන ජල පිරිපහදු මධ්‍යස්ථානයට ද එම තත්වයට මුහුණ පෑමට සිදුවෙලා. ඉන් සැපයෙන ජලයට ලවණ මිශ්‍රවීමෙන් ගැටලු රැසක් උද්ගතව ඇති බවයි ජනතාව පවසන්නේ.

    ගැටලුවට කෙටි කාලීන විසඳුමක් ලෙස දිවා, රාත්‍රී දෙකෙහිම බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ ආපදා කළමනාකරණ ඒකකය, ජල සම්පාදන මණ්ඩලය, යුද හමුදාව හා ප්‍රාදේශීය සභාවලට අයත් ජල බවුසර් 22ක් මගින්. එහෙත් ගැටලුව පවතින ප්‍රදේශවල තබා ඇති ජල ටැංකි 800කට එය ප්‍රමාණවත් නොවන බව ජනතාව පෙන්වා දෙනවා.

    ජල අර්බුදය අවසන් කිරීම සඳහා රජය නව ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙනවා. මුහුදු වෙරළේ සිට කිලෝ මීටර් 26ක් දුරින් පිහිටි බුලත්සිංහල, කොලේමෝදර ප්‍රදේශය. ඊට තෝරා ගෙන ඇති අතර අදාළ ස්ථානය පිහිටා ඇත්තේ, කෙත්හේන ජල සම්පාදන ව්‍යාපෘතියේ සිට කිලෝ මීටර් 16ක දුරකින්. කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ හරස් කරමින් ව්‍යාපෘතිය ඉදි කෙරෙනවා. ඉන් ලබාගන්නා ජලය නව ජල කුළුණු 04ක් ඔස්සේ බෙදාහැරීමට නියමිතයි. ජල ගැටලුව පවතින ප්‍රදේශවලට මෙන්ම අමතර ප්‍රදේශ රැසකට ද එමගින් ජලය සැපයිය හැකියි. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව පන් ලක්‍ෂයක් පමණ කළුතර ජල ගැටලුවට මේ වසර අවසන් වනවිට විසඳුමක් ලබාදි හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශ කළා.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:16

    Latest News