ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලකුණ “පොහොට්ටුව“ (වීඩියෝ)

පෙබ 17, 2020
  • ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීමේ අයදුම්පත අද මැතිවරණ කොමිසමට බාරදී තිබෙනවා.

    නව සන්ධානයේ ලකුණ පොහොට්ටුවයි. නව සන්ධානයේ නායකයා ලෙස නම් කර ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතායි. එහි සභාපති ලෙස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති අතර, මහලේකම් ධූරය බාර දී ඇත්තේ, බැසිල් රාජපක්‍ෂ මහතාටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පිළිගත් දේශපාලන පක්‍ෂ 10ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා තිබෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන් නම් කර තිබෙනවා. සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. උප ලේකම් ධූරයට පත්කර ඇත්තේ, උදය ගම්මන්පිල මහතායි. රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර යන මහත්වරුන් උප සභාපති ධූරයට පත් කිරීමට නියමිතයි. මහින්ද අමරවීර මහතා සන්ධානයේ නියෝජ්‍ය ලේකම් ලෙස ක්‍රියා කරනු ඇති.

    මේ අතර පසුගිය ජනවාරි 18 වැනිදා ආරම්භ කෙරුණු නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කිරීමේ කාලය අද පස්වරු 4.00න් අවසන් වුණා. මැතිවරණ කොමිසම පැවසුවේ එම කාලය තුළ නව දේශපාලන පක්‍ෂ 75ක් වෙනුවෙන් අයදුම්පත් ලැබී ඇති බවයි. අදාළ අයදුම්පත්‍ර පරීක්‍ෂා කිරීම, කමිටුවකට පැවරෙනු ඇති.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 20:27

    Latest News