සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ල අප්‍රේ.28 යළි විභාගයට

පෙබ 17, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 28 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබීය. එහිදී අදාළ පැමිණිල්ල නැවත අප්‍රේල් මස 28 වැනිදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.

    නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරීයෙකු වන අනිල් වසන්ත අල්විස් ගැන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2016 වසරේ ඔක්තෝම්බර් මස 10 වැනිදා අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ පටයක් මගින් එම වකවානුවේ "උසාවිය නිහඬයි" නැමැති චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තහනම් නියෝගයක් සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් දැඩි විවේචන එල්ල කර තිබූ බවයි.

    එමෙන්ම 2016 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා කොළඹ පැවති පොත් එළි දැක්වීමේ උත්සවයකදී අදහස් දැක්වූ සරත් විජේසූරිය මහතා එහිදී ද අධිකරණ ක්‍රියාදාමය දැඩි විවේචනයට බඳුන් කළ බවද පැමිණිලිකරුවන් කියා සිටියේය.

    මෙම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර මහාචාර්ය සරත් විජේසූරිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පැමිණිලිකරුවන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 11:15

    Latest News