රාත්‍රීයේ මගී බස්රථ ධාවනය නොවීමට විසඳුමක් (වීඩියෝ)

පෙබ 15, 2020
  • පොදු ප්‍රශ්න කතාකරන වේදිකාවක් වෙමින් ජනතාවට වඩාත් සංවේදී ක්ෂේත්‍රයක් වන රාත්‍රී කාලයේ මගී ප්‍රවාහනය පිළිබඳව අපි සොයා බැලීමක් සිදු කළා.

    සෑම මගියෙකුගේම බලාපොරොත්තුව පරිස්සමින් ඉක්මණින් තම ගමනාන්තය දක්වා ගමන් කිරීම. එහිදී පොදු ප්‍රවාහන සේවාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එය දිනෙන් දින සාර්ථක වනු දැකීමත් ජනතාවගේ ප්‍රධාන අපේක්‍ෂාවක්. නමුත් අද අප කතාකරන කොළඹ දිස්ත්‍රික්කය තුළ බස් රථ ප්‍රවාහනයේ දී ජනතාව ගැටලු රැසකට මුහුණ දෙනවා. ඒ අතරින් රාත්‍රී 8.00න් පසු කොළඹ බොහෝ ප්‍රධාන මාර්ගවල බස් රථ ධාවනය නොවීම අතිශයම කණගාටුවට කරුණක්. සෙසු දිස්ත්‍රික්කවලට වඩා කොළඹ දිස්ත්‍රික්කය වැදගත් වන්නේ, සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා මෙන්ම තම සේවා සපුරා ගැනීම සඳහා භාවිත කිරීම හේතුවෙන්.

    දින ගණනාවක් අප කළ නිරීක්‍ෂණයේදී තහවුරු වුණේ. මෙම බොහෝ ප්‍රධාන මාර්ගවල රාත්‍රී 10.30 පමණ වනතුරු බස් රථ ධාවනය විය යුතු බවට අවසර පත්‍ර නිකුත් කර ඇති බවයි. එසේ තිබියදී බස් රථ ධාවනය නොවන්නේ ඇයි? ඊට පිළිතුරු ලෙස බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහන් කරන්නේ රාත්‍රී කාලයේ සැලකිය යුතු මගීන් ප්‍රමාණයක් නොමැති බවයි.

    ඔවුන් එසේ පැවසුව ද සැලකිය යුතු මගීන් පිරිසක් බස් රථ අපේක්‍ෂාවෙන් මහමඟ සිටින ආකාරය අප කැමරා කාචයේ සටහන් වුණා. පෞද්ගලික බස් රථ පමණක් නොව ජනතා සේවයක් ලෙස ආරම්භ කෙරුණු ලංගම බස් රථ ද මෙම ජනතාව වෙනුවෙන් ධාවනය නොවීම කණගාටුවට කරුණක්. මේ සම්බන්ධයෙන් විසඳුමක් අපේක්‍ෂාවෙන් දුරකතනය ඔස්සේ අප දැනුවත් කලේ, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතායි.

    ලබාදුන් දුරකතන ඇමතුමෙන් විනාඩි 15කට පමණ පසු අප රැඳී සිටි ස්ථානයට පැමිණියා

     

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා...

    “ඉදිරි කාලය වෙනකොට ඇවිල්ලා තියෙන ගැටලුත් එක්ක දවස් හතක එකදිගට අධීක්ෂණයක් කරලා රාත්‍රී කාලයේ බස් ධාවනය කරන්න මේ වෙනකොට බස් සංගම් එක්ක, ලංගමත් එක්ක කතා කරලා මේ වෙනකොට වැඩපිළිවෙළක් දියත් කරගෙන යනවා.
    අපි පළමුවෙනි පාර අවවාද කරලා, දෙවැනි පාර අවවාද කරලා, තුන්වැනි පාර මගේ අවවාදයක් නැහැ. මම අදාළ ඔහුගේ බලපත්‍රය අහෝසි කරන්න මම කටයුතු කරනවා. රියදුරු, කොන්දොස්තරවරු තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කරනවා. ඒවට මගෙන් කිසිම ඉඩක් නැහැ“ යැයි ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

    Latest News