ජාතික ආඝාත දිනය අදයි

පෙබ 15, 2020

    ජාතික ආඝාත දිනය අදට යෙදී තිබෙනවා.

    ආඝාත රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ දිනයක් ලෙසයි, මෙම දිනය ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ. මෙම රෝගය, මොලයේ එක් ප්‍රදේශයකට අවශ්‍ය රුධිර සැපයුම අඩාලවීම නිසා ඇති වන්නක්. වාර්ෂිකව ලොව පුරා වාර්තා වන ආඝාත රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 18කට අධිකයි. ඉන් මිලියන 6ක පිරිසක් වසරකට මියයනවා. ලෝකයේ පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ආඝාත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ දියුණු වෙමින් පවතින රටවලින්.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මියයෑම අතරින් තුන්වන ස්ථානය ගන්නේ මෙම රෝගයයි. ආඝාතය, හදිසි මරණයට හේතුවන ප්‍රධාන කාරණයක් වනවාසේම තාවකාලික හෝ ස්ථිර ආබාධිත තත්වයකට ද එය හේතු වනවා. හදිසියේ ඇතිවන හිසරදය, පෙනීමේ වෙනස්කම්, ගිලීමේ අපහසුතාව, ඇවිදීමේ අපහසුකම් සහ කරකැවිල්ල ආඝාත රෝගයේ අනතුරු අඟවන රෝග ලක්‍ෂණයයි. එමෙන්ම සමතුලිතතාවයේ වෙනස්කම්, ශරීරයේ එක් පැත්තක් පණ නැතිවීම හෝ සංවේදනයේ වෙනස්වීම ද රෝග ලක්‍ෂණවලට ඇතුලත්. රෝගයට ගොදුරු වන්නන්ගෙන් 57%ක් පිරිමි පුද්ගලයන් වන අතර, ඉන් වැඩි පිරිසක් අවුරුදු 60 ඉක්මවූවන්, රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පසුගියදා පැවැත්විණ. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ආඝාත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි.

    Latest News