අභියෝග හමුවේ හඬා නොවැටී නොබියව මුහුණ දෙන මතීෂ (වීඩියෝ)

පෙබ 15, 2020
  • ජිවිතයේ ප්‍රශ්නවලට එක් එක් පුද්ගලයන් මුහුණ දෙන්නේ විවිධාකාරයෙනි. ඇතැම් විට ඒ සඳහා අනුගමනය කරන විසඳුම් සාර්ථක නොවීමට හැක.


    ප්‍රශ්නවලට නොබියව මුහුණ දෙන අය වගේම ප්‍රශ්න හමුවේ හඬා වැටෙන අයත් අප අතරේ සිටී. අපි මේ කියන මතීෂ බොහෝ දේ අහිමිවුවත්, සියල්ල හිමිවුවෙකු ලෙස ජිවිතයට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා ඔහු හැමෝටම ආදර්ශයක්.


    පබසර මතීෂ. ඔහු අනෙක් දරුවන් වගේ නොවෙයි. තරමක් වෙනස්. ඒ, ඔහුගේ ශරීර අවයව පිහිටා තිබෙන ආකාරයෙන්. එහෙත්, මතීෂට ඒ කිසි දෙයක් ගැටලුවක් හෝ වෙනසක් නෙවෙයි. අනෙක් දරුවන් වගේම ඔහු ළමා ලෝකයේ සැරිසරනවා. මීට ප්‍රධානතම හේතුව, මතීෂගේ ආත්ම ශක්තිය බෙහෙවින් ඉහළ මට්ටමක පැවතීම. බැහැ කියලා කිසිම දෙයක් අතහරින්න මතීෂ සූදානම් නැහැ. මේ දරුවා ඉගෙනුම ලබමින් සිටින්නේ, යෝගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 129ක් ලබා ගැනීමටත් ඔහු සමත්වුණා. පුංචි මතීෂ මේ ගමන පැමිණ ඇත්තේ දැඩි කැපවීමකින් සහ ඉවසීමෙන්. ඒ වගේම දැඩි උනන්දුවකින්. පබසර මතීෂගේ සෑම වැඩක්ම ඉතා පිලිවෙළයි. තමන්ගේ කටයුතු තනිවම කරගෙන යාමට එම පිලිවෙළත් ඔහුට මනා පිටිවහලක් වී තිබෙනවා.


    විදුහල්පතිවරයාගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් මතීෂගේ ගමනට ලැබී ඇත්තේ, නොමඳ සහයක්. ජිවිතය ජය ගන්න උත්සාහ දරන මිනිසුන්ට අවශ්‍ය ලෝකයේ අනුකම්පාව නොව දිරි ගැන්වීමයි. අඩුපාඩු රැසක් මැද ජිවිතය ගොඩනගමින් සිටින පුංචි මතීෂට දිරියක් වීමට ප්‍රේක්ෂක ඔබටත් පුලුවන්. ලෝකය ජග ගන්න වෙරදරන තවත් පුංචි පුතෙකුට පිහිටවූවා යන සතුට අත්විඳීමට ඔබට ඉන් හැකිවේවි.

    Latest News