රතුගල ආදිවාසී නායකයාට ප්‍රහාරයක් (වීඩියෝ)

පෙබ 15, 2020
  • රතුගල ආදිවාසි නායක සුදා වන්නිලඇත්තන්ට කිසියම් පිරිසක් පහරදී තිබේ.

    බිබිල, නිල්ගල ඖෂධීය වන රක්‍ෂිතය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදු කෙරෙන අනවසර වැලි ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි කිරීම ඊට හේතුවයි. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් එම පහරදීම සිදු කර ඇති බව වාර්තාවේ.

    නීති විරෝධි වැලි කැනීම් හේතුවෙන් බිබිල, නිල්ගල රක්‍ෂිතයට සිදුවන හානි පිළිබඳ රතුගල ආදිවාසී නායක සූදා වන්නිලඇත්තන් කළ හෙළිදරව්ව ඊයේ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් විකාශය කෙරිණ. මෙරට ප්‍රධානතම රක්‍ෂිතයක් ලෙස සැලකෙන නිල්ගල රක්‍ෂිතය දුර්ලභ ඖෂධීය ශාක රැසකින් සමන්විතයි. රක්‍ෂිතය මැදින් ගලා බසින රඹකැන් ඔයේ අනවසර වැලි ජාවාරම හේතුවෙන් එහි ඇති වටිනා ශාක රැසක් විනාශ වෙමින් පවතින බව ආදිවාසි නායකයා ඊයේ පෙන්වා දුන්නේය.

    වැලි කැණීමෙන් රඹකැන් ඔය අඩි 10ක් පමණ ගැඹුරු වී ඇති බවත්, දිවා රාත්‍රී දෙකෙහිම මෙම වැලි කැණීම් සිදුවන බවත් එහිදී ආදිවාසී නායකයා හෙළිදරව් කළේය. එම තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම ගැන උරණ වූ අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා ආදිවාසී නායකයාගේ නිවසට පැමිණ ඔහුට තර්ජනය කර පහරදී තිබේ.එහිදී ශරීර අභ්‍යන්තරයට සිදුවූ තැලීම් හේතුවෙන් ආදිවාසි නායකයා මේ වනවිට බිබිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    ආදාළ සිදුවීම පිළිබඳ පොලිස් පරීක්ෂණ මේ වන විට ආරම්භ වී ඇති බවයි වාර්තාවන්නේ.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 20:04

    Latest News