ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 38 සංවත්සරය අභිමානවත් ලෙස සමරයි (වීඩියෝ)

පෙබ 15, 2020
  • දශක හතරක් පුරා සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද 38 වැනි සංවත්සරය සමරනවා.

    ශ්‍රව්‍ය-දෘෂ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයමින්, ජාතික රූපවාහිනිය ඉටුකරන යුග මෙහෙවර, එද මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වන්නක්. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ, 1982 වසරේ පෙබරවාරි 15 වැනි දිනයි. මෙය ජපාන රජයේ පරිත්‍යාගයක්. මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින්, ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ, ජාතික රූපවාහිනියයි. ශ්‍රී ලංකාවේ නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැපවී සිටිනවා.

    ප්‍රේක්‍ෂකයන්ගේ ඉහළ රසඥතාව වෙනුවෙන් ජාතික රූපවාහිනිය, චැනල් අයි, නේත්‍රා යන නාලිකා තුනක් ඔස්සේ වැඩසටහන් විකාශය කරනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර සජීව විකාශයන්හි එදා මෙන්ම අදත් නියමුවා සහ ප්‍රමුඛයායි. ජනකොටස් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සුහදතාව හා විශ්වාසය ශක්තිමත් කිරීමට ජාතික රූපවාහිනිය රටේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ද ඉටුකරමින් සිටින්නේ, සුවිශේෂි මෙහෙවරක්. දිවයිනේ වැඩිම ආවරණ කලාපයක් හිමි සන්නිවේදකයා වන්නේ ද ජාතික රූපවාහිනියයි. නවීන තාක්‍ෂණයෙන් යුත් මේ ආයතනය සතු වටිනාම සම්පත නිර්මාණශීලි, නිසඟ හැකියාවන්ගෙන් පිරිපුන් නිෂ්පාදකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයයි.

    දෙස්-විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ප්‍රේක්‍ෂකයන්ට එදා-මෙදා මෙන්ම, මතුදා ද තිළිණ කරන්නේ හරවත් වැඩසටහන්. වෙනස්වන සමාජයට අනුගත වෙමින්, එහෙත්, සංස්කෘතිය හා සම්ප්‍රදාය නොබිඳිමින් ජාතික රූපවාහිනිය සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටිනවා. ඒ, පැවරී ඇති සියලු ජාතික වගකීම් නොපිරිහෙලා ඉටු කරමින්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් ඊයේ පැවැත්විණ. ඒ, රටට ජනතාව සහ සංස්ථා කාර්ය මණ්ඩලයට ආශීර්වාද කිරීමේ අරමුණින්. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපති කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දේවාහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනයට සඳහා වැඩම කළහ.

    Slrc px 900 15 02 20

    පිංකම ආරම්භ කෙරුණේ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් සහ සංස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. පිරිත් සජ්ජායනාවෙන් පසු අද උදේ සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමිණ. නාරාහේන්පිට අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කළහ.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 20:20

    Latest News