ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය උනන්දුවෙන් (වීඩියෝ)

පෙබ 12, 2020
  • ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානමින් සිටී.

    නවීන කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණය ප්‍රමුඛ සහයෝගීතා ක්ෂේත්‍ර වෙයි. නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති Ron Malka මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණි. දෙරට අතර සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර සොයා බැලීම සිය චාරිකාවේ අරමුණ බව තානාපතිවරයා කීය. තමා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ ඊශ්‍රායලයේ කළ චාරිකා ත්‍රිත්වය සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකා ආර්ථිකයේ තෝරාගත් ක්ෂේත්‍ර සංවර්ධනයට සහාය දීමේ හැකියාව ඊශ්‍රායලය සතු බවයි.

    “ජාතික ආර්ථිකයට දෙන දායකත්වය සහ රැකියාවේ නිරත ජන සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේ දී කෘෂිකර්මාන්තය අපට ඉතා වැදගත්. එය වැඩි වශයෙන් රඳා පවතින්නේ සාම්ප්‍රදායික ක්‍රම මත. ගොවීන්ට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දීර්ඝ කාලීනව දිළිදු බවින් පීඩා විඳිනවා. එබැවින් කෘෂිකර්මාන්තය රැකියාවක් ලෙස තෝරා ගැනීමට තරුණ පිරිස් මැලිකමක් දක්වනවා. එම නිසා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට සහ තරුණ කොටස් ආකර්ෂණය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය අවශ්‍යයි” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වාදීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කිරීමට තම රටට හැකියාව ඇති බව ධනාත්මක ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා පැවසීය. අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර නවීකරණය සඳහා ද සහාය වීමේ හැකියාව තානාපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ පළමු ලේකම් Noa Hakim මහත්මිය සාකච්ඡාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 19:57

    Latest News