සිව් දින ඉන්දීය රාජ්‍ය සංචාරය නිමා කරමින් අගමැති දිවයිනට (වීඩියෝ)

පෙබ 11, 2020
  • සිව් දින ඉන්දීය රාජ්‍ය සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දහවල් දිවයිනට පැමිණියේය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව මෙම රාජ්‍ය සංචාරයට එක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට, ඉන්දීය රජයෙන් හිමිවුණේ ඉහළ පිළිගැනීමක්. පසුගිය 07 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලබාදෙන ආරක්‍ෂාවට සමාන ආරක්‍ෂාවක් සහ පිළිගැනීමක් හිමිවිය. එතුමා පිළිගැනීමේ නිල උත්සවය සාම්ප්‍රදායික හමුදා උත්තමාචාර සහිතව පැවැත්විණ.

    එය, ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හිදී සිදු කෙරිණ. සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයසංක යන මහත්වරුන් සමඟ සාකච්ජා පැවැත්වූහ. එමෙන්ම හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, ඉන්දීය කොංග්‍රස් පක්‍ෂ හිටපු නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවූහ. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවලින් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වාරානාසි, සාරානාත්, බුද්ධගයාව හා තිරුපති හි සංචාරය කළේය. ඒ සඳහා ඉන්දීය රජය විශේෂ කුවන් යානයක් ද ලබාදී තිබිණ. අග්‍රාමාත්‍යවරයා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ ද ඉන්දීය රජය ලබාදුන් විශේෂ ගුවන් යානයෙන්.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 20:16

    Latest News