කෝප් කමිටුව හමුවට ආයතන 03ක් කැඳවීමට පියවර ගැනේ

පෙබ 08, 2020

    විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

    එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, යළි පාර්ලිමේන්තුව රැස්වන ලබන 18, 19 සහ 20 යන දිනවලදී එම ආයතන 03 කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

    ඊට අමතරව මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව නිකුත් වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

    මේ අතර ශ්‍ රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව මතුව ඇති කරුණු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

    ඒ, ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

    පසුගිය රජයේ විවිධ ව්‍යාපෘති සඳහා සිදුකළ යුතු ගෙවීම් කිරීමට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ආණ්ඩු පක්ෂය එහිදී දැනුම් දී තිබේ.

    එම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය පෙබරවාරි 20 වැනිදා පෙරවරු 09.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

    මේ අතර ලබන 18 හා 19 යන දිනවලදී මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවන් සම්බන්ධව සිදු කර ඇති වෝහාරික විගණනයේ වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනු ඇති.

    Latest News