නිදහස් දින උළෙලේ යුද හමුදා අශ්වාරෝහක අංශය

පෙබ 01, 2020

    72 වැනි ජාතික නිදහස් දින උළෙලේ අභිමානවත් බව සහ ප්‍රෞඩත්වය විදහා දැක්වීම සඳහා යුද හමුදා අශ්වාරෝහක අංශය ද සිය දායකත්වය ලබාදෙයි.

    ශ්‍රී ලංකා යුද හමුදා අශ්වාරෝහක අංශය නිදහස් දින සැමරුමට එක්වන දෙවැනි අවස්ථාව මෙයයි. ලොව ඕනෑම යුද හමුදාවක අභිමානය සංකේතවත් කිරීමේ එක් සළකුණක් වන්නේ අශ්වයින්. ශ්‍රී ලංකා යුද හමුදාවේ අශ්වාරෝහක අංශය ආරම්භ කෙරුණේ, 2013 වසරේදී. මෙවර නිදහස් දින සැමරුමට අශ්වාරෝහක අංශය නියෝජනය කරමින් අශ්වයින් 18 දෙනෙකු එක් කිරීමට නියමිතවේ. පිරිමි සතුන් 15 දෙනෙකු සහ ගැහැණු සතුන් තිදෙනෙකු ඊට අයත්. ඉන්දියාව, පකිස්තානය, නෙදර්ලන්තය යන රටවලින් මේ සතුන් අශ්වාරෝහක අංශයට ලැබී තිබේ.

    මේ අශ්වයින් පෙළපාලි සඳහා විශේෂයෙන් පුහුණු කර ඇති අතර, එම කටයුතු සිදු කර තිබෙන්නේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා පීඨයේ දී. කපිතාන් අසංග ජයලත් ඇතුළු 8 දෙනෙකු මේ සම්බන්ධ විදෙස් පුහුණුව ලබා සිටී. නිදහස් දින උළෙලක් සඳහා යුද හමුදා අශ්වාරෝහක කණ්ඩායම මුල්වරට සහභාගි වූයේ ඉකුත් වසරේදී. යුද හමුදා අශ්වාරෝහක කණ්ඩායම මේ දිනවල නිදහස් දින පෙරහුරු සඳහා සහභාගිවෙමින් සිටී. මේ අංශය භාරව ක්‍රියා කරන්නේ මේජර් රෝහණ උඩරටගේ මහතායි.

    Latest News