වූහාන් හි කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට (වීඩියෝ)

පෙබ 01, 2020
  • “කොරෝනා“ වෛරසය පැතිර යාමෙන් වසා දමා ඇති චීනයේ වූහාන් නගරයේ කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස අද උදේ ගුවන් මගින් මෙරට රැගෙන එනු ලැබුවා.

    ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ මැදිහත්වීමෙන්. ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් මේ වනවිට දියතලාව යුද හමුදා රෝහලට යාබදව ඉදි කෙරුණු නව ගොඩනැගිලි දෙකක රඳවා සිටිනවා.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ පස්වරු 3.35ට පමණ චීනයේ හුබෙයි පළාතේ වූහාන් ටියැංහෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය යූ.එල්. 1422 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය, ගොඩබස්වනු ලැබුවේ එරට වේලාවෙන් රාත්‍රී 11.45ට පමණ. එම ගුවන් යානය මෙරටින් පිටත්වීමට පෙර එහි කාර්ය මණ්ඩලයට ආරක්‍ෂිත ඇඳුම් පැළඳුම් සහ උපකරණ ලබාදී ඒවා භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ද ලබාදී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරෝධායන ඒකකය සමඟ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර බලගනය විසින්. වූහාන් හි රැඳී සිටි ශ්‍රී ලාංකික සිදු සිසුවියන්, කුඩා දරුවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 33 දෙනෙකු ගුවන් යානයට නංවා ගැනීමෙන් පසු එය ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කළා. 

    පැය 6ක පමණ ගුවන් ගමනකින් අනතුරුව, ගුවන් යානය මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවේ, අද උදේ 7.50ට පමණ. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සාමූහික ආයතන සම්බන්ධීකරණයකින් ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමනෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරෝධායන ඒකකය සමඟ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර බලගනය ගුවන් මගින් පිටතට ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළා.

    අනතුරුව සියලු මගීන් භාර කෙරුණේ, යුද හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශිලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර බලගනය වෙතයි. එම ඒකකයේ විශේෂ පුහුණුව ලද නිලධාරීන් මෙන්ම, වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ට ආහාර පාන සපයා දියතලාව බලා පිටත්කර යැවීමට බස් රථයට නංවනු ලැබුවා. පෞද්ගලික සමාගමකට අයත් බස් රථයක් වුවත්, එය පදවනු ලැබුවේ, විශේෂිත ආරක්‍ෂිත ක්‍රමවේද අනුව සුදානම් කරන ලද යුද හමුදා රියදුරෙකු විසින්. චීනයේ සිට පැමිණි පිරිස නිරෝධායනය සඳහා නවාතැන් ගන්වන දියතලාව යුද හමුදා රෝහලට යාබදව ඉදි කෙරුණු නව ගොඩනැගිලි දෙක ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතයි. මෙම ගොඩනැගිලි ඉදිකිරිම ආරම්භ කෙරුණේ ඉකුත් 28 වැනි දිනයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වෛද්‍ය උපදේශකයින් වසංගත රෝග විද්‍යාඥයින්ඇතුළු විවිධ ආයතනවල පූර්ව අධීක්‍ෂණය යටතේ දින 14ක් පමණ ඔවුන් එහි රඳවා තබා ගැනීමට අපේක්‍ෂා කෙරෙනවා.

    ආහාර පාන ඇතුළු සියලු පහසුකම් සැපයෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන්. ඔවුන්ට වෙන්-වෙන් වශයෙන් රැදී සිටිමට කාමර 32ක් ලබාදී තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වූයේ, චීනයේ වූහාන් නගරයෙන්. ඒ නිසා වැඩිම රෝගීන් පිරිසක් එම නගරයෙන් වාර්තා වුණා. රෝගය පැතිරයාම ශීඝ්‍ර වූ විට, එහි සිටි විදේශිකයන් ඉවත් කර ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කෙරුණා. එහි සිටි විදේශිකයන් ඉවත් කර ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කෙරුණා.

    එහි සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ අවධානය යොමු වු අතර, ශ්‍රී ලංකාව තම සාමාජිකයන් වූහාන් නගරයෙන් ඉවත්කර ගැනීම සඳහා මුලින්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඇරඹු රටවල් අතරින් එකක් බවට පත්වුණා. එහෙත්, මුල් අවස්ථාවේ චීන බලධාරීන් කිසිදු රටකට ඒ සඳහා අවසර ලබාදුන්නේ නැහැ. කෙසේ වුවද ශ්‍රී ලංකා රජය මෙරට සිසුන් ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කලා. ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට චීන තානාපති කාර්යාලය එම වැඩපිළිවෙළට එක්ව සිටියා. පසුව චීන බලධාරීන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට තම පුරවැසියන් ඉවත් කර ගැනිමට අවසරය ලබා දුන්නා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 1423 යානය විශේෂයෙන් පුහුණු ලැබූ කාර්ය මණ්ඩලයක් ද සමඟ ඊයේ සවස වූහාන් වෙත පිටත් කරනු ලැබුවේ, එම දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙසයි.

    චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 660ක පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ අවසන්. තවත් 45ක පමණ පිරිසක් අද රාත්‍රී දිවයිනට පැමිණිමට නියමිතයි. කොරෝනා වෛරසය පාලනයට හා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සඳහා රජය කඩිනමින් විශේෂ මෙවලම් සපයා තිබෙනවා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 60කට අධිකයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ අයිඩීඑච් රෝහල ඇතුළු රෝහල් 12කට එම උපකරණ ලබාදී ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව පත්කරනු ලැබු ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර රෝග පාලනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගත් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ, මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාව මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි.

    කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කෙරෙන තවත් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. රත්නපුර, ගම්පහ, කරාපිටිය සහ අයිඩීඑච් උණ රෝහලේ ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ මෙම රෝගය පැතිරයාම මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් වැඩි දියුණු කර තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 01 පෙබරවාරි 2020 22:15

    Latest News