ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුළු 6 දෙනා ලබන 14 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ජන 31, 2020

    පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ලබන 14 දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කළ නියෝගයකට අනුව. බෝම්බ ප්‍රහාරය සිදු කළ මොහොමඩ් ඉල්හාම් නමැත්තාගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරික, මොහොමඩ් භයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් 6 දෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරිණ. පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බැවින්, සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකරුවන් ලබන 14 දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කළේය.

    මේ අතර අප්‍රේල් 21 කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ යාපනය චුන්ඩික්කුලිහි පදිංචි 27 හැවිරිදි නිරීන් ෆ්ලෝරි තරුණිය ඉකුත් 29 වැනි දින මියගියාය. ඇය ඒ වනවිට මාස 09ක කාලයක් ප්‍රතිකාර ලැබුවාය. කොළඹ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුව රාගම ශික්‍ෂණ රෝහලට මාරු කෙරුණු අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. හිස්කබලට හා මොළයට සිදුවූ බරපතල හානි හේතුවෙන් දීර්ඝ කාලයක් එක්තැන්ව සිටි ඇගේ මරණය සිදුව ඇත්තේ නිව්මෝනියා තත්වයක් හේතුවෙන් බවට තීරණය කර ඇත. දේහය ඥාතීන් විසින් යාපනයට රැගෙන යනු ලැබීය.

    Jaffna px 900 31 01 20

    Latest News