මහා කන්නයේ වී කිලෝවකට රු. 50ක අවම සහතික මිලක් නියම කිරීමට ජනපති තීරණය කරයි

ජන 24, 2020

    මහා කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා තීරණය කර තිබේ.

    ගොවීන් ශක්තිමත් කර රට සහලෙන් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ජනාධිපතිතුමා පවසයි. මිලදී ගන්නා ස්ථානය වෙත රැගෙන එන වී තොගවල උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 09%ක් වීම නිසි ප්‍රමිතිය බව, ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. තෙතමනය 14% ඉක්මවන සහ 20%ට අඩු වී තොග වෙනම හඳුනාගෙන එම කිලෝවක් රුපියල් 44කට මිලදී ගැනීමට නියමිතයි. රජය මේ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 100ක්. මෙවර අපේක්‍ෂිත වී නිෂ්පාදනය මාස 09ක සහල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වේ. නියමිත ප්‍රමිතියට නොවන වී වියලා ගැනීම සඳහා වී මෝල් හිමියන් දායක කර ගැනීමට නියමිතයි. 

    ඒ සඳහා වී කිලෝ එකකට රුපියල් 4ක මුදලක් පෞද්ගලික වී මෝල් හිමියන් වෙත ගෙවීමටයි, තීරණය කර ඇත්තේ. වී විලදී ගැනීම, වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සිදු කෙරේ. ක්‍රියාවලිය විධිමත්ව හා කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාව ද දායක කර ගැනීමට නියමිතයි. අදාළ ප්‍රදේශවල රාජ්‍ය බැංකු වී මිලදී ගැනීම වෙනුවෙන් දින හතම විවෘතව තැබීමට නියෝග කර තිබේ. ගොවීන්ගේ බැංකුවලට එදිනම මුදල් බැර කිරීමට ද තීරණය කර ඇත. වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රමුඛතාවක් සේ සලකා ක්‍රියා කරන ලෙස අදාල රාජ්‍ය සේවකයින්ට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ.

    Latest News