2019 ජනාධිපතිවරණය සාමකාමීයි; යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම

ජන 24, 2020

    2019 ජනාධිපතිවරණය සාමකාමීව පැවති අතර, මැතිවරණ කොමිසම එය ඉතා හොඳින් කළමණාකරණය කළ බව යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දෙයි.

    එහෙත්, ඉදිරියේදී මැතිවරණ ප්‍රචාරක වියදම්, මාධ්‍ය ක්‍රියාකාරිත්වය, සමාජ මාධ්‍ය හැසිරීම හා කාන්තා නියෝජනය නැංවීම සම්බන්ධයෙන් නීතිරීති ශක්තිමත් විය යුතු බව ඔවුන්ගේ නිර්දේශවල දැක්වේ. යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායමේ අවසන් වාර්තාව අද දහවල් කොළඹදී ප්‍රකාශයට පත් කෙරිණ. ඒ, ප්‍රධාන මැතිවරණ නිරීක්‍ෂක මරීසා මාටියාස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අවසන් වාර්තාව මගින් යුරෝපා නිරීක්‍ෂකයා නිර්දේශ 23ක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාදාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම එහි අරමුණයි. මැතිවරණ ව්‍යාපාරය හා ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදු කෙරුණ ද ගැටලු සහගත තත්වයන් ගණනාවක් පැවති බව එමඟින් පෙන්වා දෙයි.

    ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය පක්‍ෂග්‍රාහී බවක් පෙන්වීම, ප්‍රධාන අපේක්‍ෂකයන්ට පමණක් වැඩි තැනක් ලබාදීම හා සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ජාතිවාදී ප්‍රකාශ මෙන්ම වැරදි සහගත දේශපාලනික තොරතුරු බහුල ලෙස බෙදාහැරීම දක්නට ලැබුණු බව එහි සඳහන් වේ. මැතිවරණ ප්‍රචාරක වියදම් සම්බන්ධයෙන් නීති රීති නොමැතිවීම ද ගැටලුවක් බව වාර්තාවේ දැක්වේ. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාමය වැඩපිළිවෙළක් අවශ්‍ය බව යුරෝපා වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News