සජිත් යළිත් නියෝජ්‍ය නායකකමට

ජන 24, 2020

    එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් අද සිදු කෙරිණ.

    පක්‍ෂ ආරංචි මාර්ග පවසන්නේ, නියෝජ්‍ය නායක තනතුරට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට, නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බවයි. එක්සත් ජාතික පක්‍ෂයේ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත්, උපනායක ලෙස රවී කරුණානායක මහතාත් පත්කරනු ලැබූහ. කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද සාකච්ජා පැවැත්විණ. සාකච්ජා, හෙටත් පැවැත්වීමට නියමිතයි.

    ලබන සඳුදා වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජිකයින් පත් කර අවසන් කිරීමට නියමිතයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ රැස්වීම පැවැත්වෙන දිනය මෙතෙක් තීරණය කර නැතැයි, පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පක්‍ෂ නායකත්වය සම්බන්ධ ගැටලු සියලු දෙනාගේ එකඟත්වය මත විසඳා ගැනීමට ක්‍රියාකරන බව, කාරියවසම් මහතා සඳහන් කළේය. නියෝජ්‍ය නායක තනතුර සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීම පිළිබඳව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කලේ ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවයි.

    Latest News