ලාභ අපේක්‍ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්‍ෂමව සේවාවක් සැලසිය යුතුයි; ජනපති

ජන 24, 2020

    සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. 

    රාජ්‍ය ආයතනවල අකාර්යක්‍ෂමතාව පිටුදැක කාර්යක්‍ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව එතුමා පෙන්වා දෙයි.

    ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායකවන රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

    “2005-2014 කාලය තුළ අපේ රට ආර්ථික වර්ධනය අතින් ආසියාවේ මුල් තැනක තිබුණා. ගත වූ වසර කිහිපයේ දී ආර්ථික වර්ධනය පහළ ගියා. ආර්ථික පුනරුදයක් ඇති කිරීම අද අප හමුවේ ඇති විශාලම අභියෝගයක්” ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    ආර්ථිකය යළි ගොඩනැගීමේ දී නව තාක්ෂණය උපයෝගි කොට ගත යුතුය. පුහුණු ශ්‍රමය තවත් වැදගත් සාධකයකි. ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමයේ ද අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. එහිලා තෘතීයික අධ්‍යාපනයට තරුණ, තරුණියන් වැඩි වැඩියෙන් යොමු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

    “ජනතාවට සේවය කළ හැකි සහ ආර්ථික වර්ධනයට වැඩිපුර දායක විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන දියුණු කළ යුතුය. සංචාරක මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට එහිදී ප්‍රමුඛ වගකීමක් පැවරේ. පසුගිය සමයේ නැගුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක විය යුතුය”. ජනාධිපතිතුමා කියා සිටියේය.

    කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කිරීම නාගරික තදබදයට විසඳුමක් ලෙස පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා ඔවුනට නව තාක්ෂණය සහ දියුණු යටිතල පහසුකම් සපයා දිය යුතු බව සඳහන් කළේය. මේ ව්‍යායාමයේ දී උද්ගත වන සියලු ගැටලුවලට විසඳුම්දීමට තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලිමක් කළේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

    Latest News