නවක වදයෙන් වින්දිතයන් වූවන්ට, සහන සැලසීමට විශේෂ කමිටුවක්; ඇමති බන්දුල (වීඩියෝ)

ජන 18, 2020
  • නවක වදයෙන් වින්දිතයන් වූවන්ට, සහන සැලසීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

    2018 වසරේ පමණක්, උසස් අධ්‍යාපනය හැර දමා ගොස් ඇති සිසුන් සංඛ්‍යාව දෙදහසක්. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මේ බව ප්‍රකාශ කළේය. විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව සිසුන් තිස් දහසක් ඇතුළත් කරගන්නා විට, තවත් සිසුන් විසි දහසක් පමණ විදේශ ගතවේ. නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ප්‍රතික්‍ෂේප කරන සිසුන් සංඛ්‍යාව වැඩි වී තිබේ. මෙය ජාතික අපරාධයක් ලෙස සැලකිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. කායික හා මානසික වද හිංසා හේතුවෙන් රෝහල්ගත වූ ආබාධිත තත්වයට පත්වූ සහ සිය දිවි නසාගත් සැලකිය යුතු පිරිසක් ද ඒ අතර වේ. ආසන්න වසර කිහිපය තුළ නවක වදය හේතුවෙන් සරසවිය හැරගිය සිසු සිසුවියන් පිළිබඳව කමිටුවේ අවධානය යොමු වනු ඇත. අමාත්‍යවරයා කියා සිටියේ, පුවත්පත් දැන්වීම් පළ කර පැමිණිලි හා අභියාචනා කැඳවා සාක්‍ෂි විමසීම ආරම්භ කරන බවයි.

    කමිටුවට සාමාජිකයන් 7 දෙනෙකු යෝජනා කර තිබේ. කමිටුවේ සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුප් මහතායි. ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය නාරද වර්ණසූරිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය මාගම්මන ප්‍රඥානන්ද හිමියන්, ආචාර්ය බෙනට් ශාන්ත ප්‍රනාන්දු පියතුමා, ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් යන මහත්වරුන් සෙසු සාමාජිකයන් වනු ඇත. එහි කැඳවුම්කරු සහ ලේකම් ලෙස කටයුතු කරන්නේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියයි.

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 19:58

    Latest News