බලන්ගොඩ පරණ බඩුත් එක්ක පාසල් පෙළ පොත්

ජන 18, 2020

    අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල් දරුවන්ට 2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද පෙළ පොත් තොගයක් බලන්ගොඩ නගරයේ පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයක තිබී පොලිස් භාරයට ගෙන ඇත.

    ඊයේ (17) පස්වරුවේ සොයාගත් මෙම පෙළ පොත් තොගය කිලෝ 500 ක පමණ ප‍්‍රමාණයක් වනබව බලන්ගොඩ පොලිසිය ප්‍රකාශ කරයි.

    පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයේ හිමිකරුගෙන් මේ සම්බන්ධව පොලිසි කළ විමසීමකදී ඔහු කියා සිටියේ අළුත්නුවර ප‍්‍රදේශයේ පරණ පත්තර හා පොත් මිලදී ගන්නා පුද්ගලයෙක් මෙම පොත් තොගය රැගෙන ආ බවයි. ඒ සඳහා රු.9600 ක මුදලක් තමන් ලබාදුන් බවද ඔහු පවසයි.

    ඒ අනුව පොලීසිය අළුත්නුවර ප‍්‍රදේශයේ පොත් අලෙවි කළ පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී අනාවරණය වූයේ අළුත්නුවර ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය මෙම පොත් තොගය රු.5000 ක මුදලකට ලබා දුන් බවත් එම රු.5000 ක මුදල ලබා ගත් බවට පාසලේ නිල මුද්‍රාව තබා රිසිට් පතක් තමන් වෙත ලබා දී තිබෙන බවයි. පොලිසිය එම රිසිට් පතද පරික්ෂා කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව සඳහන් කරයි. මෙම පොත් තොගය 2019 සිට 2022 දක්වා මෙම පොත් පරිහරණය කළ හැකි බව පොත්වල සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

    Latest News