චීන නව වෛරස් රෝගය නිසා විදේශ ගමන් සීමා කිරීම අවශ්‍ය නොවේ - සෞඛ්‍ය අමාත්‍යාංශය (වීඩියෝ)

ජන 18, 2020
  • චීනයෙන් වාර්තා වූ නව වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    එම නව කොරෝනා වෛරස රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය නිවේදනය කළේ වාර්තා වූ එම නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති බවයි. වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නො නගින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙම රෝග තත්ත්වය පිළිබඳ ව දැඩි අවධානයෙන් පසු වන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනා ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සඳහන්වේ.

    මෙම රෝගය ඇතුළු ස්වසන රෝග වලින් වැළකීමට ගත යුතු පියවර පහත දැක්වෙන පරිදි වේ.

    - මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර ඒ සඳහා කහින විට හා කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම.

    - දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම.

    - නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම.

    - ජනාකීර්ණ ස්ථානයන් හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම.

    විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස ගැවසීම සහ ගමන්බිමන් යාම අවම කිරීම මගින් මෙම රෝගය පැතිරයාම පාලනය කරගත හැකිය.

    මෙම වෛරසය ආසාදනය වූ 1,700 දෙනෙකු තම රටතුළ ඇතැයි, චීනය පවසයි. කෙසේ වුවද, ආසාධිතයන් පිරිස මීට වඩා වැඩිවනු ඇති බවයි නිලධාරීන් සැක පළ කරන්නේ. ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ. රෝගය පැතිරයාම වැළැක්වීමට චීනයේ සිට ගමන් අරඹන ගුවන් මගීන් පරීක්ෂාව සිංගප්පූරුව, අමෙරිකාව හා චීනයේ හොංකොං යන ප්‍රධාන ගුවන් තොටුපලවලදී සිදු කෙරේ. පසුගිය වසරවල චීනයට බලපෑ සාස් වෛරසයේ රෝග ලක්ෂණවලට මෙම වෛරසය සමාන බවයි සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 20:20

    Latest News