ජනපතිගේ 'තිරසර සංවර්ධන' වැඩපිළිවෙළ ගැන හැනා සින්ගර්ගේ ප්‍රසාදය

ජන 18, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනයන තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් මහත්මිය ප්‍රසාදය පළකරයි.

    ජනාධිපතිතුමා සහ හැනා සින්ගර් මහත්මිය අතර ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී ඇය මේ බව කියා සිටියේය. දිළිඳු බව පිටු දැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය,අතුරුදන් වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ. දිළිඳුකම පිටු දැකීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණයි. අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීම සහ සහන මිලට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රය,තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට හැනා සින්ගර් මහත්මිය මෙහිදී පොරොන්දු විය.

    මෙම සාකච්ජාවේ දී අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. එම පවුල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස්කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. තම දේශපාලන අභිලාශයන්ට පටහැනිවීම නිසා ද්‍රවිඩ දේශපාලඥයන් එම පියවර ප්‍රතිකෂේප කළ ද රජයේ අරමුණ වන්නේ අගතියට පත් පවුල්වලට යහපත සැලසීම බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 11:52

    Latest News