රන්ජන් අධිකරණයට රැගෙන එයි; නිවසින් සොයාගත් උපකරණ ගැන රන්ජන්ට දන්වයි

ජන 17, 2020

    ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතතොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද යළි ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    ඒ, ඔහුගේ නිවසින් සොයාගත් බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය හා හඬපට අඩංගු සංයුක්ත තැටි සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමටයි. නඩුව අද කැඳවනු ලැබුවේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා ඉදිරියේ. එහිදී නියෝග කෙරුණේ, බලපත්‍ර අලුත් නොකළ ගිනි අවියක් ලඟ තබා ගැනීමට සම්බන්ධ නඩුව පෙබරවාරි 7 වැනිදා යළි කැඳවීමටයි. කොළඹ අපරාධ කොට්ඨාසය ඉකුත් 4 වැනිදා රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිල නිවස පරීක්‍ෂා කළ අවස්ථාවේ හඬපට අඩංගු දෘඩ තැටි හා සංයුක්ත තැටිවලට අමතරව, පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 120කට වැඩි සංඛ්‍යාවක් සොයා ගත්තේය. පසුදින අධිකරණය වෙත ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරිණ. ඉකුත් 14 වැනිදා රන්ජන් රාමනායක මහතා යළි අත්අඩංගුවට ගැනුණේ, ඔහු පටිගත කොට ඇති ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඬ පටවලට අදාළවයි. ඔහු ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, මන්ත්‍රීවරයාගේ කට හඬ නියැදි ලබාගැනීම සඳහා ලබන 23 වැනි දින රජයේ රස පරීක්‍ෂක හමුවට ඉදිරිපත් කරන ලෙස ද නියම කෙරිණ.

    Latest News