හම්බන්තොට ජාතික සම්පත් නැවත ආර්ථික සංවර්ධනයට (වීඩියෝ)

ජන 17, 2020
  • හම්බන්තොට යනු මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආර්ථික මර්මස්ථාන රාශියකින් සමන්විත දිස්ත්‍රික්කයක්.

    නමුත් පසුගිය වසර 05ක කාලය තුළ එම වටිනාකම් නොසලකා හැරීම පුදුමයට කරුණක් සේම ඛේදනීය තත්වයක්. නව රජය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික සම්පත් නැවත මෙරට ආර්ථික සංවර්ධනයට එක්කර ගැනීමට සැලසුම් සකස් කොට තිබේ.

    2005ට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය නොවූ ප්‍රදේශයක් ලෙස හඳුන්වනු ලැබීය. එහෙත්, මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්වර්ණමය යුගය ආරම්භ විය. අගනගරයට නොදෙවෙනි සංවර්ධන ව්‍යාපෘති සිය ගණනින් 2005 සිට 2015 දක්වා කාලසීමාව තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉදි කෙරිණ.

    Ground px 900 01 17 20

    ඒ අතර, මාගම්පුර වරාය,මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, වියළි කලාපීය උද්භිත උද්‍යානය, සෆාරි උද්‍යානය නවීන පහසුකම්වලින් සමන්විත රෝහල සහ දියුණු මාර්ග පද්ධතිය හම්බන්තොට දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තබනු ලැබීය. නමුත්, එම ව්‍යාපෘතිවල ප්‍රතිඵල රට භුක්ති විඳීමටත් පෙර 2015 වසරේදී අතහැර දැමිණ. එම අවාසනාවන්ත තීරණයට අද වනවිට වසර 05ක්.

    මෙම ජාතික සම්පත් රට ඉදිරියේ පමණක් නොව ලෝකය ඉදිරියේ ද හෑල්ලුවට ලක් කළේ, මෙරට ආර්ථිකයේ දැවැන්තම ආයෝජනය වූ හම්බන්තොට වරාය විකුණා දමමින්. මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වී ගබඩා කළේ ද එම ආර්ථික මර්මස්ථානය නිර්දය ලෙස අපහාසයට ලක් කරමින්. 2015 සිට අද වනතුරු කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා නොකළ මෙරට එකම ක්‍රීඩාංගණය වන්නේ ද සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයයි. පුදුමයට කරුණ නම් මෙම සියල්ල සිදුවන විට පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වු වර්තමාන විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියොජනය කළ දිස්ත්‍රික්කය ද හම්බන්තොට වීමයි.

    Airfort px 900 01 17 20

    එම කිසිදු විකුණා දැමීමකට හෝ බාල්දු කිරීමටක සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පළ කළේ ද නැත. එම අඳුරු අතීතය පසුගිය නොවැම්බර් 16 වැනිදා මෙරට ජනතාව අතුගා දැමීය. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල නිසි ප්‍රතිඵල රටට ලබාගැනීම යළි ආරම්භ කර තිබේ. එහි පළමු වැඩසටහන වන්නේ, සුරියවැව තොරතුරු තාක්‍ෂණ උද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්‍ෂණ උද්‍යානය ලෙස ඉදිකිරීමයි. විදේශීය සිසුන්ට පවා මෙහි අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවේ. මෙහි ඉදිකිරීම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ ආරම්භ වුව ද, පසුගිය රජය යටතේ ඉදිකිරීම් නතර කෙරිණ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය, මඟපෙන්වීම යටතේ යළි එහි ඉදිකිරීම් කඩිනම් කර තිබේ. නුදුරු දිනයක මෙම තොරතුරු තාක්‍ෂණ උද්‍යානය හම්බන්තොට තරුණ තරුණියන්ට මෙන්ම මෙරට තරුණ පරපුරට මහත් අධ්‍යාපන තෝතැන්නක් බවට පත්වීම සිදුවනු ඇත.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 20:32

    Latest News