රන්ජන් සමඟ සංවාදයේ යෙදුණු බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම්

ජන 16, 2020

    බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට, අධිකරණ සේවා කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාව මීට හේතුවයි. රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන්, ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා අද පොලිසියට උපදෙස් දුන්නේය. පොලිසිය සිදු කළ පරීක්‍ෂණවල කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම උපදෙස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමුකර ඇතැයි වාර්තාවේ. ඒ අනුව, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත්වරයෙකු වන ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි. මේ අතර දැනට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස ක්‍රියා කරන ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ අධිකරණ සේවා කොමිසම විසින් ජනාධිපතිතුමා වෙත යොමුකර තිබේ. ඒ මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලධාරියා ජනාධිපතිතුමාවීම හේතුවෙන්.

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එම අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය නිහාල් ජයතිලක හා එවකට “දිවිනැඟුම“ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාව සිටි කිත්සිරි රණවක යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන, 2015 අප්‍රේල් මස දිනක මධ්‍යම රාත්‍රිය දක්වා සාක්‍ෂි විභාග කොට, බන්ධනාගාරගත කරනු ලැබුවේ ධම්මික හේමපාල මහතා කඩුවෙල මහේස්ත්‍රාත්වරයාව සිටියදී. පසුව, ඔහු රන්ජන් රාමනායක මහතා සමඟ සංවාදයක යෙදෙන අයුරු මෙලෙස පටිගත වී තිබිණ.

    Latest News