ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඇති කරනවා; අගමැති

ජන 15, 2020

    ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට තිබෙන බාධා හැදිනගෙන එම ගැටලූ විසඳීමට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු වූ ක‍්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට පියවර ගන්නා බව අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ක්‍රීඩාවෙන් ජයග‍්‍රහණ ලබා රට දිනවීමේ හැකියාව ඇති දරුවන්ට ඒ සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරීම ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් බිහි කිරීමේ අරමුණ බව පෙන්වාදුන් අග‍්‍රාමාත්‍යවරයා පාසල් මට්ටමින් මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින්ද දක්ෂ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සොයාගෙන ධෛර්යමත් කළ යුතුව ඇතැයි කීවේය. එහිදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අමතමින්, තමන්ගේ දරුවන් ලෝකය දිනා එන තෙක් පියෙක් මග බලා සිටින සේ ඔබ ලෝකය ජයගෙන එන තෙක් අප‍්‍රමාණ පිය සෙනෙහසින් අපි බලාසිටිනවා යනුවෙන් ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

    දහතුන්වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබූවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් ඇගයීම සඳහා තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කොළඹ නෙලූම් පොකුණ රඟහලේ ඊයේ (14) පැවැති උත්සවය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    මෙහි දී පසුගිය දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනා ගනු ලැබූවන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් ද, රිදී පදක්කම් දිනා ගනු ලැබූවන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 3 බැගින්ද, ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබූවන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් ද ප‍්‍රදානය කෙරිණි.

    ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර තරඟයකදී ශ‍්‍රී ලංකාව දිනාගනු ලැබූ වැඩිම පදක්කම් ප‍්‍රමාණය දිනා ගැනීමට ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පසුගිය දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී සමත්වූ අතර එය 251කි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන් ද ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් රුවන් චන්ද්‍ර මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද සහභාගී වූහ. 

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 20:29

    Latest News