විපක්‍ෂය මර්දනය කළ රනිල්, පාඨලී, අජිත්, රාජිතට පොට වරදී; රා. අමාත්‍ය මහින්දානන්ද

ජන 15, 2020

    රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ නිරතව ඇති සියලු විනිසුරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව, රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් රජය අගවිනිසුරුවරයාගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය. 

    “යහපාලන ආණ්ඩුව විසින් විපක්‍ෂය මර්දනය කිරීම සඳහා බොරු නඩුදාලා මන්ත්‍රීවරු සිරගත කිරීමේ ව්‍යාපෘතියේ පළමුවෙනි චූදිතයා ඊයේ වෙනකොට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න කටයුතු කළා. මේ ව්‍යාපෘතියේ මහමොළකරුවන් වන රනිල් වික්‍රමසිංහ, අජිත් පී පෙරේරා, චම්පික රණවක, රාජිත සේනාරත්න යන අය පිලිබඳව ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අධිකරණයේ මේකට සම්බන්ධ විනිසුරු වෙනුවෙන් ගරු අග්‍රවිනිශ්චයකාරතුමා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයි කියලා විශ්වාසය තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා. මම දැක්කා රාමනායක මන්ත්‍රීවරයා ඊයේ පොලිසිය අත්අඩංගුවට ගන්න කොට හැසිරෙන හැටි අඩනිරුවතින් තමන්ගේ ෆේස් බුක් ගිණුමේ කතා කරන හැටි. මේවගේ මානසික ආතතියකින් පෙළිච්ච මිනිස්සු තමයි මේ යහපාලන ආණ්ඩුවේ හිටියා කියන එක මං තමුන්නාන්සේලා කියන්න ඕනේ. මහනායක හාමුදුරුවරු ගාවට ගිහිල්ලා චම්පික රණවක අඬනවා මාව නිදහස් කරන්න කියලා. අනුනායක ස්වාමීන් වහන්සේ බොහොම හොඳ උපදෙසක් දීලා තියෙනවා චම්පික රණවකට. සිංහල බෞද්ධයෙක් හැටියට ඇත්ත කියන්න දැන්වත් කියලා. මේ වෙනකොට චම්පික රණවකගේ රියදුරු මහත්තයා පාපොච්චාරණයක් කරනවා මම මේ වාහනේ එලෙව්වේ නැහැ. සිංහල බෞද්ධයෙක් වගේ කතා කරපු කෙනා රටටම බොරු කියපු එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා.

    රාජිත සේනාරත්න මහතා බොරුවට රෝහල්ගත වෙලා ඇප ලබාගෙන එළියට ආවා අද මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි රජයෙන් විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා මේ දේශපාලන අසාධාරණය වෙනුවෙන් කමිටුවට පැමිණිළි ඉදිරිපත් කරන්න කියලා. මේ කමිටුව දෙන ලද නිර්දේශ අනුව රජය කටයුතු කරන්න යනවා“ යැයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    Latest News