විශ්වවිද්‍යාල සිසු ප්‍රචණ්ඩත්වය මැඬලීමට ඇමති බන්දුල තීරණයකට; බියෙන් සැකෙන් තොර අධ්‍යාපනයට අවස්ථාව

ජන 14, 2020

    නවක වදය, හිංසනය හා ප්‍රචණඩත්වය මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල තුළ ඇතිවන තත්වය පිටුදැකීම සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව, උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    විශ්වවිද්‍යාල සියලුම සිසුන්ට බියෙන් හා සැකයෙන් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකිරීම මෙහි අරමුණයි. අපොස උසස් පෙළ කඩඉම පසුකරන ශිෂ්‍ය ප්‍රජාවට ඊළඟට මුහුණ පෑමට සිදුව ඇති තවත් අභියෝගයක් වන්නේ විශ්වවිද්‍යාල නවක වදය. මෙම කායික සහ මානසික හිංසන ක්‍රියාවලිය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාත්මක වන්නේ දීර්ඝ කාලයක සිට.නවක වදය තුළ දේශපාලන නැඹුරුවක් ද දක්නට ලැබේ. කෙසේ වුවද, නවක වදය හේතුවෙන් පසුගිය සමයේ සැලකිය යුතු පිරිසක් සරසවි අධ්‍යාපනය අතරමඟ හැරගොස් තිබීම එහි බරපතල බව කෙතරම් ද යන්න සාක්‍ෂි සපයයි. නවක වදයට මුහුණ දිය නොහැකිව දිවි නසා ගත් පිරිස් ද වාර්තා විය. එවැනි සිදුවීම් විශ්වවිද්‍යාල සිසුවාට මෙන්ම, ඔහුගේ හෝ ඇයගේ සමීපතමයින්ට ද ගෙන දෙන්නේ විශාල කම්පනයක්. නවක වදයට ලක්වීමෙන් සදාකාලික ආබාධිත තත්වයට පත්වූවන් ද සිටී. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට මෙතෙක් එකවර ඇතුල්කර ගත හැකි වූ උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව තිස් දහසක් පමණ වේ.

    එම පිරිසෙන් ද සිසුන් දෙදහසකට පමණ නවද වදය හේතුවෙන් අධ්‍යාපනය අතරමඟ ඇණහිට උපාධි ලබාගැනීමේ අවස්ථාව ද අහිමිවිය. මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා රැසකදීම සාකච්ජා සංවාද හා උපදේශ පවත්වා ඇතත්, නවකවදය තුරන් කිරීමට හෝ අඩු කිරීමට හෝ කිසිදු රජයක් මෙතෙක් සමත් වී නොමැත. වත්මන් ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උසස් අධ්‍යාපනයට අදාළ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට තීරණය කර තිබේ. එවැනි සුවිශේෂි අවස්ථාවක් ලැබී ඇති මොහොතක තවදුරටත් නවකවදය වැනි සිද්ධීන් මුල්කර ගනිමින් සිසුන් අධ්‍යාපනයෙන් බැහැර වේ නම් එය ප්‍රශ්නාර්ථයක්.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “නවකවදය වැළැක්වීමේ පනතක් තියෙනවා. ඒ පනතේ විධිවිධාන නිසිලෙසින් ක්‍රියාත්මක කිරීමයි කරන්න ඕනේ. ඒ අවස්ථාවලදී කවුරු හරි බියගැන්වීම් කරනවානම්, තර්ජනය කරනවානම්, ඒ අයට බාධා කරනවානම් එයටත් අදාලව නීතිමය විධිවිධාන තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා මිසක් දේශපාලන වශයෙන් මැදිහත් වෙන්නේ නැහැ. අධිකරණය විසින් ඉතාම දැඩි ලෙස යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඉෂ්ඨ කරලා. සෑම දරුවෙකුටම ඇසක් වගේ ආරක්ෂා කරගැනීම සඳහා වන යුතුකම් හා වගකීම් ඉෂ්ට කරන්න අදාළ පාර්ශවයන් සියලු දෙනාම එකමුතුව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 20:35

    Latest News