මේ වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අද

ජන 10, 2020

    මෙම වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය අද (10) පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමග සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

    මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් අද රාත්‍රී 10.38ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ.

    ග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම 2.42 ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ටය. ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ.

    නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හදුනා ගැනීම තරමක් දුෂ්කරය. ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි රටවලට ද දිස්වේ.

    Latest News