කරාපිටිය මාතෘ රෝහලේ ඉදිකිරිම් කඩිනම් කිරිමට ඇමති උපදෙස්

ජන 08, 2020

    ජර්මන් රජයේ ආධාර යටතේ කරාපිටියේ ඉදිකෙරන නව මාතෘ රෝහලේ ඉදිකරීම් කටයුතු ඊයේ (07) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය නීරීක්ෂණය කළාය.

    මෙම අවස්ථාව‌ට වැවිලි කර්මාන්ත හා කාෂි අපනයන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතා සහ මහමෝදර මාතෘ රෝහලේ හිටපු අධ්‍යක්ෂ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධිර මහත්මිය ද එක්ව සිටියහ.

    karapitiyahospital1 px 900

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය මහල් 06 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරික්ෂණය කරන ලද අතර, ඉදිකිරීම් කටයුතු වලට අදාල ඉදිරි සැළසුම් පිළිබදව ද කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡාවක නිරත වුවාය. දකුණේ ජනතාවට අවශ්‍ය වූ සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට ඉදිකිරීම් නිසි ප්‍රමිතීන්ට අනුකූලව කඩිනමින් අවසන් කර ලෙස නිරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරිය කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියාය.

    සුනාමියෙන් හානියට පත් වූ මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට ජර්මනියේ හිටපු චාන්සලර් ආචාර්ය හෙල්මුට්කෝල් මහතාගේ අදහසකට හෙල්මුට්කෝල් පදනමෙන් පිරිනැමුණු ප්‍රදානයන් මගින් රජය පිරිනැමූ ඉඩමක පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස 2005 වසරේදි ඉදිකිරිම් ආරම්භ කෙරිණ. මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ දී මුලික අත්තිවාරම් අවධියෙන් පසු මෙම ව්‍යාපෘතිය නැවති තිබේ. වසර 2012 දී මෙම රෝහලේ නැවත ඉදිකිරිම් ඇරඹීම සදහා ජර්මනියේ KFW (පුණර්නිර්මාණි බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර, ඇතිකරගත් ගිවිසුමක් මගින් යුරෝ මිලියන 28 ක (රුපියල් මිලියන 5000 ක) සහන මුදලක් මේ සදහා වෙන් කෙරිනි. එ අනුව රෝහලේ ඉදිකිරිම් 2015 වසරේ දී ආරම්භ කෙරිණ. ව්‍යාපෘතියට අනුව ඇදන් 600 කින්, ශල්‍යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 කින් ඇතුලු නවීන පහසුකම්වලින් සමන්විත මාතෘ රෝහලක් ලෙස එය ඉදිකෙරේ.

     

     

     

     

     

     

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 14:45

    Latest News