බලධරයන් අහක බැලූ, නෙත් පාදාගැනීමට දුක් විඳින මල් කැකුළු

ජන 06, 2020

    අබලන් ගොඩනැගිලි, වැස්ස හා සතුන් නිසා අධ්‍යාපන කටයුතු නිසිලෙස කර ගත නොහැකිව පීඩාවට පත් වූ දූදරුවන් පිරිසක් ගැන බකමූණ ඇළහැරින් වාර්තාවේ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ ඇළහැර විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ සිසුදරුවන් ටකරන් කැබලි සෙවිලිකළ ඉටිරෙදිවලින් ආවරණය කළ මඩුවක අධ්‍යාපනය ලබන බව දෙමාපියෝ පවසති.

    එමෙන්ම තුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ලබා දෙන ලෙසත් පහ වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් එම සිසු දරුවෝ හඬා වැටෙති.

    bakamunaschool---01.jpg

    වසර හතළිහකට වැඩි කාලයක සිට කිසිදු සංවර්ධන කාර්යයක් නොමැති වීම නිසා පාසල් ගොඩනැගිලි අබලන්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. එමෙන්ම විශාල වශයෙන් ගුරුවරු අහිමිව විදුහල්පතිවරයෙක් පවා නොමැතිව ඉතා අපහසුතා මධ්‍යයේ මේ දරුවන් අධ්‍යාපනය ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම පාසල පිළිබඳව දෙමව්පියන් විසින් කළ දැනුම් දීමකින් පස් අද(06) දින එම විද්‍යාලයට ගිය අවස්ථාවේදී අප වාර්තාකරුට මෙවර 5 වසර ශිෂත්ව විභාගයෙන් සමත් වූ දැරියක් දැඩි ඉතා සංවේදීව හඬා වැටෙමින් තම විද්‍යාලයට සිදුව ඇති විපත පිළිබඳව සඳහන් කර ඇත.

    bakamunaschool---02.jpg

    පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම විද්‍යාලයේ අබලන්ව ඇති ගොඩනැගිලි තුළට උල්දිය දැමීම හේතුවෙන් පන්තිකාමර රැසක් ජලයෙන් පිරී ගොස් ඇති බවත් සිසු දරුවන්ට නිරන්තරයෙන් ජලය ඉවත් කිරීමට සිදුවන බවත් දෙමව්පියෝ පවසති. පහ වසර පන්තියේ පැවැත්වෙන කාමරයේ බිත්ති අතරින් විශාල වශයෙන් උල්දිය මතුවීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා දෙමව්පියන් විසින් විද්‍යාලය පිටුපස කැලෑබදව ස්ථානයක තිබුණු නැටුම් පුහුණුවීම සඳහා ඉදිකළ ස්ථානයක 5වසරේ පංති කාමරය පවත්වාගෙන යයි. ඒ ඉටිරෙදි වට කරමිනි.

    දරුවන් පන්තියෙන් ඉවත් ව යන අවස්ථාවන්හිදී මෙන්ම පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදුකරද්දී රිලවුන් රංචුවක් පිටින් පැමිණ දරුවන්ගේ ආහාර සහිත කෑම පෙට්ටි හා පොත් පත් රැගෙන යන බවද ඔවුහු පවසති. එමෙන්ම දැඩි වර්ෂාව ඇති අවස්තාවන් හිදී එම පංතිකාමරයේ ඉගෙනුම් කටයුතු කළ නොහැකි බවද සිසුදරුවෝ හඬා වැටෙමින් පවසති.

    ඇලහැර විද්‍යාලයේ විදුහල්පති කෙනෙක් නොමැතිව කාලයක් ගතව තිබෙන බවත් ඒ වෙනුවට නියෝජ්‍ය විදුහල්පති කඹරව විජිත රතන හිමියන් වැඩබලන විදුහල්පති ලෙස කටයුතු කරයි.

    වසර ගණනාවක සිට පවතින අඩුපාඩු පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට අවධානය යොමු නොවුණු නිසා දරුවන්ගේ ආරක්ෂාවට මෙයාකාරයෙන් තාවකාලිකව මඩුවක ඉගැන්වීම් කටයුතු සිදු කරන බව උන් වහන්සේ පැවසුහ.

    ඇලහැර විද්‍යාලයේ සිසුදරුවන්ගේ දෙමාපියන් මෙන්ම ගුරු භවතුන් ද පෙන්වා දෙන්නේ පවතින ගොඩනැගිලි වසර ගණනාවකට ඉහත දී ඉදිකළ ඒවා බවයි. එමෙන්ම මීට පෙර එක් ගොඩනැගිල්ලක වහලයක් කඩාවැටී විද්‍යාලයේ සිසුවියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳව ද පහ වසර පන්ති භාර ගුරුතුමිය ප්‍රකාශ කළාය.
    ගුරුවරුන්ගේ නේවාසිකාගාරයේ වහලය ද දිරාපත් වී කඩා වැටීමට ඔන්න මෙන්න තත්ත්වයේ පවතින බව දෙමව්පියන් පෙන්වා දෙයි.

    විද්‍යාලයේ දරුවන් පන්සියයකට වඩා වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන බවත් එහි සංගීත කාමරය, ක්‍රීඩා කාමරය, නැටුම් කාමරය ආදී සියල්ල වැසි දිනයන්හිදී පමණක් නොව උල්දිය හේතුවෙන් තනිකරම ජලයෙන් පිරී ඉතිරී යන බවද සිසු-සිසුවියෝ පෙන්වා දෙති.

    ඇළහැර බකමූණ විද්‍යාලය පිහිටා ඇත්තේ මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් කිහිපයක් ආසන්නයේ ය. මොරගහකන්ද ජලාශයේ කටයුතුවලට පැමිණෙන ප්‍රභූන්ගේ ආරක්ෂක අංශ මෙම විද්‍යාලයේ ගොඩනැගිලි ඔවුන්ගේ නවාතැන් පහසුකම් ලබා ගැනීමට භාවිතා කරන බවද වාර්තාවේ.

    ඇලහැර විද්‍යාලයේ ඇති අඩුපාඩු පිළිබඳව වර්තමාන ජනපතිතුමාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු කර මෙම දරුවන්ට අධ්‍යාපනය කටයුතු සිදුකිරීම සඳහා කඩිනමින් පංති කාමරයක් තනා දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.

    Latest News