විභජ්ජවාදය මහා ත්‍රිපිටක පූජාව ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන්

ජන 04, 2020

    පන් දහසක් මහා සංඝරත්නය උදෙසා විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා මහා ත්‍රිපිටක පූජාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද පැවැත්විණ.

    ඒ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා නිර්මල බුදුදහම මතු පරපුර උදෙසා සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙය පැවැත්විණ. මෙය සංවිධාන කෙරුණේ, අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සහ එහි සේනාසනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප යන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ථෙරවාදී ධර්මා ඥානය හෙබි මහා සඟ පරපුරක් බිහිකොට සම්බුදු සසුන ආරක්‍ෂා කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ජා කෙරිණ. ධර්ම විනයධර විද්වත් මහා සංඝරත්නය පවත්වන ලද දේශනා හා විවෘත සාකච්ජා මණ්ඩපයකින් මෙය සමන්විත විය. නිර්මල බුද්ධ භාෂිතයට වැරදි අර්ථකතනය දීමෙන් සිදුවන විනාශය වළක්වා මතු පරපුර උදෙසා බුදුදහම සුරක්‍ෂිත කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ.

    ත්‍රිපිටකය සහ අට්ඨකථා ඩිජිටල් මාධ්‍යයෙන් පන් දහසකට අධික වූ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම ද ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණ. ත්‍රෛයිනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News