ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කරගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජන 03, 2020

    “ප්‍රතිත්‍රස්ත පනත“ ඉල්ලා අස්කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ආන්දෝලනයට තුඩුදුන් මෙම පනත, පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබිණ. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, ප්‍රතිත්‍රස්ත පනත විදේශීය අවශ්‍යතාවක් බවයි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන - සම කැබිනට් ප්‍රකාශක...

    “වෘත්තිය සමිති සංවිධානවල නිදහස, ශිෂ්‍ය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරයේ නිදහස, දේශපාලන නිදහස සියල්ල අහුරවමින් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම වෙනුවට ත්‍රස්තවාදය හුරතල් කිරීමට අදාළව සැකසී පනතක් ලෙස තමයි ප්‍රතිත්‍රස්ත පනතට විවේචන, විචාර එල්ල වුණේ. අඩුම තරමින් මේ පනත ඉදිරිපත් කරන්නේ එවකට යහපාලන රජයේ සිටි අධිකරණ අමාත්‍යවරයාවත් සූදානම් වුණේ නැහැ. ජනාධිපතිවරයාගේ විරෝධතා තිබුණා. කිසිවක් නොසලකා පනත ඉදිරිපත් කරනු ලැබුවේ තිලක් මාරපන විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යතුමා. ප්‍රතිත්‍රස්ත පනත යනුවෙන් ත්‍රස්තවාදීන් හුරතල් කරන්න අදාළ වන පනත සම්පුර්ණයෙන් අකුළ ගෙන තියෙනවා“

    දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ.

    “පළිගැනීම් කොතරම් විශාල වුණාද කියනවානම් ඒ පළිගැනීම්වලට ලක්වෙච්ච පාර්ශ්වයන්ගේ දුක්ගැනවිලි විමසා බැලිම සඳහා විපක්‍ෂ නායක කාර්යාලයේ වෙනමම ඔම්බුස්මන් කාර්යාලයක් පවත්වාගෙන ගියා. මම ඒ දුක්ගැනවිලි බාරගන්නා දුග්ගන්නාරාළ ලෙස කටයුතු කළා. ඒ කාර්යාලයට ලැබුණු සියලුම පැමිණිළි ඒ අමාත්‍යාංශවලට අදාළව බෙදා හැරලා, පළිගැනිමට ලක්වුණු සියලු දෙනාට සාධාරණ විනිශ්චයක් ලබාදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතා ඇතුලු කණ්ඩායම කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. බාලදක්‍ෂ මාවතේ ඉදිකිරිමට යෝජිත ආයෝජන ව්‍යාපෘතිය සින්නක්කර බදුදීමක් නොවෙයි සිදුවන්නේ. එය පසුගිය රජය විසින් සැලසුම් කළ ව්‍යාපෘතියක්. ප්‍රතිපත්තියක් ලෙස ඉඩම් විකිනීම හෝ රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කිරීම ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකරන්නේ නැහැ. රටට හිතකර ඕනෑම රටකින් පැමිණෙන ව්‍යාපෘතියක් අධ්‍යයන කර, පරිසර හිතකාමීව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම්“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    පෙර පාසල් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    අමාත්‍ය රමේෂ් පතිරණ - සම කැබිනට් ප්‍රකාශක...

    “පූර්ව ළමාවිය සංවර්ධනය ළමුන් පන් ලක්ෂ තිස් දහසකට අධික ප්‍රමාණයකට සෙත සැලසෙන පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් සහ සහතිකයක් පිරිනැමීමට පාඨමාලාවක් නිර්මාණය කිරිමට සූදානම්.“ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

     

    Latest News