ලෝක උරුමයක් වන වැනීසිය, ජලයෙන් යටවීමේ අවදානමක

දෙසැ 01, 2019

    ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ශනීය ස්ථානයක් හා යුනෙස්කෝ ලෝක උරුමයක් වන වැනීසිය දිගින් දිගටම ජලයෙන් යටවීමේ අවදානමට මුහුණ පා සිටී.

    සාගර ජල මට්ටම ඉහළයාම අධික ලෙස සංචාරකයන් පැමිණිම හා ස්වාභාවික හේතු මීට මුල්වන බවයි, සැලකෙන්නේ. මේ වාර්තාව ජාතික රූපවාහිනියේ ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ ගෙන්...

    වැනීසිය, ගොඩනඟා ඇත්තේ, උතුරු ඉතාලියේ ඒද්‍රියාතික් මුහුදට යාබද කලපුවක පිහිටි දූපත් 118ක් යා කිරීමෙන්. පාලම් 400කට අධික සංඛ්‍යාවකින් ඒවා එකට බැදෙනවා. මහාමාර්ග වෙනුවට වැනීසියේ ප්‍රවාහන සේවා සඳහා යොදා ගැණෙන්නේ ජල මාර්ගයි.

    වැනීසියේ ආකර්ශනය මෙන්ම, තර්ජනය ද වන්නේ ජලයයි. සෑම වසරකම ශීත සෘතුවේ ආරම්භයේ සිට වසන්ත එළැඹීම දක්වා කාලය තුළ වැනීසිය, උදම් රළවලට ගොදුරුවනවා. ඒවා හඳුන්වන්නේ, ඇක්වා ඇල්ටා යන නමින්. මුහුදේ සිට කලපුව ඔස්සේ පැමිණෙන උදම් රළ වැනීසියේ පිහිටි මංමාවත් අතලොස්ස හා ගොඩනැගිලි යටකර දමනවා. එහෙත් මේ වසරේ උදම් රළ තර්ජනය ඉතා බරපතලයි. 1960 දශකයෙන් පසු වාර්තා වූ දරුණුතම ජල ගැල්මට වැනීසිය මුහුණ දුන්නේ, මේ මස 12 වැනිදායි. ඉන් දෙදෙනෙකු මියගිය අතර, ඩොලර් මිලියන ගණනක හානියක් සිදුවුණා. අනතුරුව 17 වැනිදා, 19 වැනිදා හා මා එහි ගිය 24 වැනිදා ද, ඊයේ දිනයේ ද සැලකිය යුතු තරම් උදම් රළ වැනීසියට කඩා වැදුණා.

    Ttali px 900 01 12 19

    ජල ගැල්ම පවතින සමයේ වුවද, වැනීසියට පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. දිනකට සංචාරකයන් 60,000ක් පමණ එහි පැමිණෙනවා. වසරකදී එම සංඛ්‍යාව මිලියන 20ක් ඉක්මවන බවයි, සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. එහි ජීවත්වන සංඛ්‍යාව දෙලක්‍ෂ හැට දහස ඉක්මවනවා. දැවැන්ත සංචාරක ආගමනය, වැනීසියට දරාගත නොහැකි තරම් ජනගහනයක් එහි ගොනු කරන බවයි, විද්‍යාඥයන්ගේ අදහස. ජල ගැල්මේ තර්ජනය වැඩිවීමට හේතු රැසක් ඇති බව, පරිසරවේදීන් පෙන්වා දෙනවා.

    1960 දශකයේ කණිනු ලැබූ නැව් මාර්ග ඇල, සංචාරකයන් රැගත් නෞකා නිසා ඇතිවන රළ පහර හා උදම් රළ දරාගැනීමට තිබූ ස්වාභාවික වගුරුබිම් පද්ධතිය විනාශවීම ඔවුන් පෙන්වා දෙන හේතු කිහිපයක්. දේශගුණික වෙනස්වීම් ද ඊට ඇතුළත්. වසර 16ක් පුරා වැනීසියට ගංවතුර පාලන ගේට්ටු ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද තවත් වසර දෙකක් යන තෙක් එය අවසන් නොවනු ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 20:32

    Latest News