විදුහල්පතිකෙනෙක් - පාසලකට කළ දෙයක් (විඩියෝ)

දෙසැ 02, 2018
  • සමහර අයගේ අදහස් සමාජය වගේම ලෝකයක් වෙනස් කරන්න තරම් පොහොසත්.

    එහිදී ගුරුවරුන්ට හිමිවන්නේ, සුවිශේෂි ස්ථානයක්. වැසීයාමට ගිය පාසලක් තම නිර්මාණාත්මක චින්තනයෙන් යළි ගොඩනැගූ මේ ගුරු මහතාත් එවැනි පුද්ගලයෙක්. හොරණ අධ්‍යාපන කලාපයේ පිහිටි ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය මේ වනවිට ප්‍රදේශයේ කීර්තිමත් පාසලක්. එහෙත්, මෙය මීට ටික කලකට පෙර වැසීයාමේ අවදානමකටයි මුහුණ පා තිබුණේ.

    2010 වසරේ පාසලේ සිටියේ, ගුරුවරුන් 9 දෙනෙකු සහ ළමයින් 51 දෙනෙකු පමණයි. එහිදී, පළමු ශ්‍රේණියට කිසිදු දරුවෙකු ඇතුළත්ව සිටියේ නැහැ. මේ අතරතුර පාසලට කිසිවෙකු නොසිතූ විදුහල්පතිවරයෙකු පත්ව ආවා. ඔහු නමින් අජිත් ප්‍රේම කුමාර.

    ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පති - අජිත් ප්‍රේම කුමාර 

    “2010 වසරේදී පළමුවැනි ශ්‍රේණිය නැති වෙයි කියලා මට ලොකු බියක් ඇතිවුණා. ඒ තත්වය වළක්වා ගන්න වගකිව යුත්තන් හමුවන්න අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. ඊට පසුව පාසලේ ගුරුවරුන් සහ මම හිතලා එක වසර ශ්‍රේණිය සඳහා ඉල්ලුම් පත්‍ර මිලදී ගෙන ළමුන්ට අයදුම් කරන්න දී ළමුන් බඳවා ගැනීම සිදු කළා යැයි ඔහු පැවසීය“.

    මේ පාසල් භූමියේ තිබූ භෞතික පහසුකම් ඉතා සීමිත වූ අතර, ළමයින්ට විධිමත් පංති කාමර තිබුණේ නැහැ. සියලු පංති කාමර එකම ශාලාවක පැවැත්වීම දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට ද දැඩි ගැටලුවක් වී තිබුණා. විදුහල්පති අජිත් ප්‍රේමකුමාර ඊට නිර්මාණාත්මක විසඳුමක් ගෙන ආවා. ඔහු සිදු කළේ නව ගොඩනැගිල්ලක් ඉදිකරන තෙක් පංති පැවැත්වීමට ධාවනයෙන් ඉවත් කෙරුණු බස් රථයක් යොදා ගැනීමයි. එය අද කියවීම් ශාලාවක්.

    “ගොඩක් දුප්පත් ළමයින් ඉන්න ප්‍රදේශයක් මේ ප්‍රදේශය. ඉතං අපට අවශ්‍ය වුණා ළමුන් පාසල තුළ ඉන්න කාලයේදී සතුටින් ඉන්න පරිසරයක් ගොඩ නඟන්න. කවුරුත් දෙනකම් බලන් ඉන්නේ නැතුව අපි ඇඟ ඇතුළේ ඉන්න ශක්තීන් අවදි කෙරුවොත් මං හිතනවා එතකොට අපි ගොඩක් දේවල් කරන්න පුලුවන් කියලා.“

    ඔහු හඳුන්වාදුන් නිර්මාණාත්මක අංග හේතුවෙන්, ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය ක්‍රමයෙන් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත්ව තිබෙනවා. ගණිතය හා සිංහල ඉගැන්වීමට යොදා ගන්නේ “ගණිතපෙත“ සහ “අකුරුපෙතයි“. ජාතික උරුමයන් ගැන ඉගැන්වීමට වෙනම පරිශ්‍රයක් සකසා තිබෙනවා. රැඟුම් කමත සහ වැඩ බැංකුව තවත් සුවිශේෂි ඉගෙනුම් අංගයක්.

    එළිමහන් කියවීමේ කලාපය ද කැපී පෙනෙනවා. පාසලේ තවත් නිර්මාණාත්මක අංගයක් වන්නේ, කොන්ක්‍රීට් මගින් ඉදිකර ඇති දැවැන්ත රූපවාහිනී වේදිකාවයි. එය “ගුරුගොඩ ටීවි“ ලෙස නම්කර තිබෙනවා. දරුවන් එහි සිට තම හැකියාවන් ඉදිරිපත් කරනු දැකගත හැකියි. විදුහල්පති අජිත් ප්‍රේමකුමාර අද ස්ථාන මාරුවක් ලබා වෙනත් පාසලක සේවය කළද, ඔහු මේ පාසලට කළ සේවය සියලු දෙනා සිහිපත් කරන්නේ කෘතඥපුර්වකවයි.

    කෙසේ වුව ද, මේ පාසලේ බොහෝ දරු දැරියන් අදටත් අධ්‍යාපනය ලබන්නේ ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමට පරිත්‍යාගශිලි ඔබට අවස්ථාව පවතිනවා.

    school 1 px 900 18 12 02

    school 2 px 900 18 12 02

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 16:37

    Latest News