සියවස් ගණනක ඓතිහාසිකත්වය කලුගගට යටවෙයි

දෙසැ 02, 2018

    මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිවීමත් සමඟ කළු ගඟ ජලාශයේ ජලය පිරවීම මේ දිනවල සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.

    මේ හේතුව නිසා ඓතිහාසික ලෙස වැදගත්කම් රැසක් පැවති ඉපැරණි ලග්ගල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව අවසන් බවත් ලග්ගල නගරය නොපෙනී යමින් පවතින බවත් දැක ගන්නට පිළිවනි. එමෙන්ම ලග්ගල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ගම්මාන රැසක් මේ වනවිටත් ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වී ඇත. ලග්ගල නගරයේ පිහිටි විහාරස්ථානය, බුදුපිළිම, විහාර මන්දිර, මෙන්ම ඉපැරණි ලග්ගල පිවිසුම් පාලම ජලයෙන් යටවී තිබේ.

    ලග්ගල නගරය හරහා නකල්ස් ප්‍රදේශයට ගමන් කල මාර්ගය ද ජලයෙන් යටවීම හේතුවෙන් නව මාර්ගයක් ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරන බව මහවැලි අධිකාරිය කියයි .ඇතැම් ගම්මානවල තිබුණු තැනක් හෝ සොයාගැනීමට නොහැකි ආකාරයට අඩි 60ත් 70ත් අතර වූ උසකට ජලය පිරී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

    මාතලේ දිස්ත්‍රික්කයේ ආසන හතරකින් එක් ආසනයක් බවට පත්ව ඇත්තේ ලග්ගල ආසනයයි. එහි විශේෂත්වය වන්නේ රාවණා රජු දෙවියන් ලෙස අදහමින් හේන් ගොවිතැනින් ජීවත් වූ පිරිසක් ලග්ගල ජීවත්වීමයි. ලංකාව නම හැදුනු ස්ථානය මෙම ලග්ගල ලකේගල ප්‍රදේශයෙන් බව ඉපැරණි පොත්පත්වල සඳහන් ව තිබේ.

    කළු ගඟ ජලාශය ඉදිවීමත් සමඟ ලග්ගල නගරයේ ජලයෙන් යටවන ප්‍රදේශ වල ගම්මාන ජනතාව ඉවත් කොට එම ජනතාව ලග්ගල නව නගරයේ පදිංචි කරවීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සිදුකර තිබේ.එහෙත් ඔවුන් පදිංචිව සිටි නිවෙස් ගම්මාන රජයේ ගොඩනැගිලි ආදී සියල්ල යට වෙමින් පවතින ආකාරය ප්‍රදේශවාසීහු සුසුම්ලමින් බලා සිටින අයුරු එහි ගිය අයෙකුට දැක ගැනීමට හැකිය. කලුගග ජලාශයේ සියලු ඉදිකිරීම් හා නව නගරයේ සියලු ඉදිකිරීම් ලබන ජනවාරි 08 දිනට පෙර නිම කිරීමට මහවැලි අධිකාරිය සුදානම්වේ.

    09 laggala

    06 laggala

    03 laggala

     

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 14:12

    Latest News