පිය-පුතු නියමුවන්ගේ ඓතිහාසික ගුවන් ගමන

සැප් 24, 2019

    ශ්‍රී ලංකා ගුවන් නියමු ඉතිහාසයට වැදගත් දිනයක් ලෙස අද දිනය සටහන්වේ. ඒ ශ්‍රී ලාංකීය පිය පුතු දෙපළක් අතින් පළමු වරට විදෙස් ගුවන් සමාගමකට අයත් යානයක් මෙරටට රැගෙන එන නිසයි.

    එම ගුවන් ගමනේ කපිතාන් ලෙස කටයුතු කරන "පියා" වින්කමාන්ඩර් උදිත දන්වත්තයි. එහි සහය නියම "පුතු" ගුවන් නියමු කවීෂ දන්වත්තයි (22). Airasia මැලේසියානු ගුවන් සමාගමට අයත් මෙම AK 47 දරණ ගුවන් යානය අද රාත්‍රී 9.55ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට නියමිතය. එය නැවත මගීන් නංවා ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ධාවනය වීමට නියමිතයි. මෙසේ ගුවන් නියමු ඉතිහාසයේ පෙළහර පාන පිය පුතු දෙදෙනා ගේ පියා වන උදිත කොළඹ මහානාම විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර පුතු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

    "මේ වනවිට මගේ පුතාට වයස අවුරුදු 22 ජනවාරි මාසයේදී ඔහු ගුවන් සමාගමේ සේවයට එක්වුනේ. මාස 5ක් අවසානයේ ජුනි මාසේ සිට සහය ගුවන් නියමුවෙකු ලෙස සේවය කරනවා. එහෙම සේවය කරගෙන ඉන්නකොට තමයි මට කපිතාන් වරයා ලෙසත් පුතාට සහය නියමුවා ලෙසත් එකම ගුවන් යානයේ සේවය කිරීමට මෙය අවස්ථාව ලැබුණේ. මේක පුතාගේ ගුවන් නියම සිහිනය ඉටු කරගන්න මහන්සි වූ මටත් මගේ බිරියටත් ලොකු සතුටක්. ඒවගේම පසුගියදා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි මගේ වැඩිමහල් සොහොයුරා බලන්න ගිය වෙලාවේ අපූරු සිදුවීමක් උනා. එම යානයේ ආසනයේ වාඩිවී සිටියදී එහි ආරම්භක නිවේදනයෙන් කියවුනා මගේ අම්මා තාත්තා අද මා රැගෙන යන ගුවන් යානය ඔබ සමඟ ඉන්නවා කියා. මටත් මගේ බිරියටත් අදහා ගත නොහැකි සතුටක් ඒ අවස්ථාවේදී ඇතිවුනා. මොකද එම ගුවන් යානයේ සහය නියමුවා ලෙස කටයුතු කළේ මගේ පුතයි" වින්කමාන්ඩර් උදිත සඳහන් කරයි.

    වින්කමාන්ඩර් උදිත දන්වත්ත 1986 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී යුද සමයේ ක්‍රියාන්විත මෙහෙයුම්වලට දායක වූ රණවිරුවෙකි. ඔහු යුද සමයේ දී කෆීර් සහ මිග් ප්‍රහාරක යානා මෙහෙයවමින් දැක්වූ දායකත්වය වෙනුවෙන් රණ වික්‍රම පදක්කම හා රණ ශූර පදක්කම්වලින් පිදුම් ලබා ඇත.

    Latest News