සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 18ක්

සැප් 11, 2019

    අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල වූ සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය සංවේගයෙන් සිහිපත් කිරීමට අමෙරිකානු ජනතාව සූදානම් වෙයි.

    අමෙරිකානු මෙන්ම, ලෝක ඉතිහාසයේ ද දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන ප්‍රහාරය සිදු වූයේ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දිනයි. ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්කයිඩා සංවිධානයේ ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානා 4ක් පැහැර ගනිමින් ප්‍රහාරය සිදු කළේය. එරට වේලාවෙන් උදෑසන 8.46ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණ වෙත ගැටීමට සැලැස්වීම ප්‍රහාරයේ ආරම්භයයි. පැහැරගත් යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සේවයට අයත් 175 වැනි යානය, එහි දකුණු කුළුණ වෙත ඇතුළු වූයේ, ඊට හරියටම විනාඩි 17කට පසුවයි. අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැර ගත් තවත් ගුව්න යානයක් උදෑසන 9.37ට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටි පෙන්ටගනය වෙත කඩා වැදිණ.

    පැහැර ගැනීමට ලක්වූ සිව් වැනි ගුවන් යානය, වොෂිංටන් බලා පියාසර කරමින් තිබිය දී කඩා වැටුණේ, එහි කාර්ය මණ්ඩලය හා මගීන් ගුවන් කොල්ලකරුවන්ගෙන් යානය බේරා ගැනීමට දැරූ උත්සහය අතරතුරයි. සමස්ත ප්‍රහාර මාලාවෙන් 2996 දෙනෙකු මිය ගිය අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 6000කට ආසන්නයි. අමෙරිකානු දේපළවලට හා යටිතල පහසුකම්වලට සිදුවූ අලාභය ඩොලර් බිලියන 10ක් ලෙස ගණන් බලා තිබේ.

    එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, අමෙරිකාව, ඇෆ්ගනිස්ථානය හා මැදපෙරදිග ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් වේගවත් කළේය. පකිස්තානයේ අබොටාබාද් ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික මෙහෙයුමක දී ඔසාමා බිල් ලාඩන් මරා දැමීමට අමෙරිකානු සේනාංක 2011 මැයි මාසයේ දී සමත් විය. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිකිරීමේ උත්සවයක් සෑම වසරකම සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙවර එය සංවිධාන කෙරෙන්නේ, 18 වැනි වතාවටයි.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 11:06

    Latest News