සුන්දර කොරල් විනාශ කරන ක්ෂණික හතුරෙක් UNIVERSITY OF NEW SOUTH WALES

සුන්දර කොරල් විනාශ කරන ක්ෂණික හතුරෙක්

අගෝ 09, 2019

    වැඩි වන සාගර උණුසුම් දියවැල් (heatwaves) කොරල්පරවල ක්ෂණික මරණයට හේතු විය හැකි බව මහා බාධක පරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.

    ගොඩබිම මත උණුසුම් වායු ධාර මෙන් උණුසුම් දියවැල් (නැතිනම් තාප තරංග) ලෙස හඳුන්වන, අසාමාන්‍ය ලෙස ඉහළ යන ජල උෂ්ණත්වය මෙම තත්වය දේශගුණික විපර්යාස නිසා සිදුවේ.

    කොරල් අධ්‍යයනය කරන විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ තාප වැඩිවීමේ සිදුවීමකින් පසු අධික උෂ්ණත්වයට නිරාවරණ වූ කොරල් කලින් සිතුවාට වඩා වැඩි වේගයෙන් දිරාපත් වන බවයි. අධික තාප වැඩිවීමේ සිදුවීමකින් පසු කොරල් 15% ක් දක්වා දුර්වල වී ඇති බවත් සමහර කොටස් ගල්පරයෙන් කැඩී යන බවත් අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

    ඔවුන් සිය සොයාගැනීම් "වත්මන් ජීව විද්‍යා" ("Current Biology") සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

    Coral 01

    Photo : UNIVERSITY OF NEW SOUTH WALES

    ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ට්‍රේසි අයින්ස්වර්ත් මෙම අධ්‍යයනය සිදු කර ඇත. දශකයකට වැඩි කාලයක් කොරල් පිළිබඳ පරීක්ෂණ කළ විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් ඇගේ මුළු පර්යේෂණ කණ්ඩායම මෙම තත්වය දැක කම්පනයට පත් වූ බව අයින්ස්වර්ත් මහත්මිය ප්‍රකාශ කරයි.

    සාමාන්‍යයෙන්, උෂ්ණත්වය ඉහළ යාම කොරල් විරංජනය ලෙස හැඳින්වේ. එනම් කොරල් පටකවල ජීවත්වන අත්‍යවශ්‍ය ඇල්ගී ඉවත් වුවද කොරල් නොවෙනස්ව පවතී. "නමුත් අප මෙහි දකින්නේ කොරල් පටක මිය ගිය විට එය ඇටසැකිල්ලෙන් කැඩී යන බවයි" ආචාර්ය අයින්ස්වර්ත් පැහැදිලි කරයි.

    එක්සත් රාජධානියේ බැන්ගෝර් විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා පාසලේ ආචාර්ය ලෝරා රිචඩ්සන් පැවසුවේ දැඩි තාප තරංග නිසා කොරල්වල ක්ෂණික මරණයට හේතු වන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස තාප හානියට ලක් වූ ඇටසැකිලි “අවතාර කොරල්” ලෙස පර්යේෂකයන් සඳහන් කළ අතර ඒවා තුළ කිසිවක් ඉතිරිවන්නේ නැති බව ආචාර්ය අයින්ස්වර්ත් පවසයි.

    ජීවමාන කොරල් පරයකට සිදුවන හානිය සමස්ත සමුද්‍ර පරිසර පද්ධතියටම බලපාන බව පර්යේෂණ කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වන නිව් සවුත් වේල්ස්හි නිව්කාසල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය බිල් ලෙගට් අනතුරු ඇඟවීය. "භයානක දෙය නම් මෙය දේශගුණික විපර්යාස නිසා ඇති වන නව සංසිද්ධියක්" බවයි. “එහි බලපෑම අප සිතුවාට වඩා දරුණු යි" ඔහු පවසයි.

    Coral 02

    Photo : SCIENCE PHOTO LIBRARY

    කොරල් පර ඉතා වැදගත් පරිසර පද්ධතියක් වේ. ඒ වෙරළබඩ ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව සඳහා ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය යන ආර්ථික වාසියත් සහ වෙරළ ආරක්ෂාව වන පාරිසරික වාසියත් හේතුවෙනි. දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමෙන් මෙම අවදානමට ලක්විය හැකි පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව විද්‍යාඥයෝ පවසති.

    (බීබීසී ඇසුරෙන්)

    Last modified on සිකුරාදා, 09 අගෝස්තු 2019 12:41

    Latest News