තනිව ගමන්බිමන් යාමට අවසර ලත් සෞදි කතුන්

අගෝ 02, 2019

    සෞදි අරාබියේ කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගත විය හැකි නව රාජකීය නීති සංශෝධනයක් ඉදිරිපත් වී තිබේ.

    සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නව රීතිය යටතේ වයස අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

    සෞදි රජ්‍ය නිලධාරීන් පවසන්නේ නව නීති රාජධානියේ නිල නීති වාර්තාව වන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒවා ප්‍රකාශයට පත් වී දින 90 කට පසුව බලාත්මක වනු ඇති බවත් වාර්තාවේ.

    මේ අනුව සියලුම වැඩිහිටියන්ට විදේශ ගමන් බලපත්‍රයක් සහ සංචාරයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර, කාන්තාවන්ට පිරිමින්ට සමාන අවස්ථාවක් මේ අනුව හිමිවේ. තවද දරු උපත, විවාහය හෝ දික්කසාදය ලියාපදිංචි කිරීමේ අයිතිය රාජකීය නියෝග මගින් කාන්තාවන්ට ලබා දී ඇත. කාන්තාවන්ට රැකියා අවස්ථා පුළුල් කරන රැකියා රෙගුලාසි ද මෙයින් ආවරණය කරයි. මෙම නිතිය යටතේ, සියලුම පුරවැසියන්ට ස්ත්‍රී පුරුෂ භාවය, ආබාධිතභාවය හෝ වයස අනුව කිසිදු වෙනස්කම් කිරීමකට මුහුණ නොදී වැඩ කිරීමේ අයිතිය ඇත.

    මේ වන තෙක් සෞදි කාන්තාවන්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ විදේශගත වීමට පිරිමි භාරකරුවෙකුගෙන් - ස්වාමිපුරුෂයෙකු, පියෙකු හෝ වෙනත් පිරිමි ඥාතියෙකුගෙන් අවසර ලබා ගැනීමට සිදුවිය.

    සෞදි අරාබියේ පාලක ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මීට පෙර කාන්තාවන්ට රිය පැදවීමේ තහනම් ලිහිල් කිරීමට කටයුතු කළේය.

    පසුගිය ජනවාරි මාසයේදී කැනඩාව 18 හැවිරිදි රහෆ් මොහොමඩ් අල්-කුනුන්ට සරණාගතභාවය ලබා දුන්නේය. ඇය සෞදි අරාබියෙන් පලා ගොස් ඕස්ට්‍රේලියාවට පලා යාමට උත්සාහ කළාය. ඇය තායි අගනුවර බැංකොක් හි ගුවන්තොටුපල හෝටල් කාමරයක නතර වී ජාත්‍යන්තර උපකාර ඉල්ලා සිටියාය.

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 11:42

    Latest News