පිටසක්වල ජීවීන් හා අත්භූත පියාඹන යානා

ජූලි 21, 2019

    පිටසක්වල ජීවීන් හා අත්භූත ජනක පියාඹන යානා වැනි මාතෘකා පිළිබඳව මේ දිනවල ලෝක ජනමාධ්‍යයේ කතා බහක් ඇතිවී තිබේ.

    අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 අධි ආරක්‍ෂක කලාපයට කඩා වැඳීමට ෆේස් බුක් ක්‍රියාකාරීන් පිරිසක් සංවිධාන වීමේ සිදුවීමත් එක්කයි. එහෙත්, මේ මාතෘකාව අමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය තුළත් දැඩි අවධානයට ලක්ව ඇති බව, එතරම් ප්‍රසිද්ධ වූ කාරණයක් නොවේ. යූ.එෆ්.ඕ එසේත් නැත්නම්, හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ මෑත කාලීන මුල් වාර්තා පළ වන්නේ,
    1947 තරම් ඈත වකවානුවකදී. අමෙරිකානු ගුවන් හමුදා නියමුවෙකු වූ කෙනිත් ආනෝල්ඩ් නමැත්තා ප්‍රකාශ කළේ, වොෂිංටන් ප්‍රාන්තයේ රේනියර් කඳු ප්‍රදේශයට ඉහළ අහසේදී තමා පීරිසි හැඩයේ පියාඹන වස්තූන් කිහිපයක් දුටු බවයි. එදා අමෙරිකානු ගුවන් හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත්, පියාඹන පීරිසි යන වචනය ජන වහරට එක්වූයේ ආනෝල්ඩ්ගේ ප්‍රකාශයත් සමඟයි. 1947 දී පමණක් නොවෙයි අදටත් අමෙරිකානු ගුවන් නියමුවන් තමන් දුටු අත්භූත ජනක පියාසර වස්තූන් ගැන කරුණු හෙළි කරනවා.

    ඔවුන් පවසන්නේ, 2004,2012,2014 හා 2015 වසරවලදී අමෙරිකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිත පුහුණු හා මුර සංචාර මෙහෙයුම්වලදී මෙවැනි සිද්ධීන්ට මුහුණ දුන් බවයි. එෆ්-18 ප්‍රහාරක නියමුවන් එම අත්භූත වස්තූන් නිරීක්‍ෂණ කැමරාවලට හසුකර ගත්තා. එක් අවස්ථාවක ඔවුන් ඒවා අවි ප්‍රහාරක ඉලක්කයට හසුකර ගත්තත්, පහරදීමෙන් වැළකී සිට තිබේ. අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඊට අදාළ වීඩියෝ දෙකක් පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් කළේය.

    පියාසර ලුතිතන් ඩැනී අකොයින්....

    “හඳුනාගත හැකි පියාපත් නැහැ. පසුපස කොටසක් නැහැ. දුමක් නිකුත් කරන්නේ නැහැ. මේ වීඩියෝවේ දැක්වෙනවා වගේ. අප එහි සිටින බව එම වස්තූන් දැන සිටි බවක් හැඟී ගියා. ඒවා අප වටේ වරින් වර ගැවසුණා“

    අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කළ බව, මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩොලර් මිලියන 22ක් වැය කරමින් මෑත කාලීනව විමර්ශනයක් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබේ. එහෙත්, මේ වනවිට එම විමර්ශනය නවතා ඇති බවයි වාර්තා වන්නේ.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.....

    “මම ඒ ගැන දුටුවා. වාර්තා කියෙව්වා. කෙටි රැස්වීම් කිහිපයක් ද පැවැත්වුවා. ඇතැම් අය කතාවනවා අත්භූත ජනක පියාඹන වස්තූන් ගැන. ඒත් මම ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ පුද්ගලිකව. ඒත් එය දන්නේ අපේ ගුවන් නියමුවන්. ඇතැම් වාර්තා අතීතයට වඩා වෙනස්. ඒ ගැන අවධානය යොමුකර තිබෙනවා.)

    අත්භූත ජනක පියාසර වස්තූන් හුදෙක් පිටසක්වල යානා යැයි බහුතරයක් සලකන්නේ නැහැ. එය බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකමක් විය හැකි බවයි බොහෝ විද්වතුන්ගේ මතය. උදාහරණයක් ලෙස අමෙරිකාව 1950 දශකයේ දී සෝවියට් රුසියාවේ ඔත්තු බැලීම සඳහා රහසිගතව අධි තාක්‍ෂණික යූ-2 යානා නිෂ්පාදනය කර නෙවාඩා හි කුප්‍රකට ඒරියා-51 ගුවන් කඳවුර ආශ්‍රිතව ඒවා අත්හදා බැලීය.

    සාමාන්‍ය ගුවන් යානාවලට උඩින් අඩි 60,000ක් ඉහළ අහසේ පියාසර කළ යූ-2 යානා එදා ජනතාව හා සාමාන්‍ය ගුවන් නියමුවන් දුටුවේ අත්භූත ජනක යානා ලෙසින්. අමෙරිකානු රජය එදා නිහඬව සිට සැබෑ තොරතුරු හෙළි කළේ දශක කිහිපයකට පසුවයි. එපමණක් ද නොව අමෙරිකානු ගුවන් හමුදාව සතු අත්භූත හඩැති අධිතාක්‍ෂණික යානාවල තිඹිරිගෙය වූයේද රහසිගත නෙවාඩා කඳවුරයි. බ්ලැක් බර්ඩ් එෆ්-117, නයිට් හෝක් හා බී-2 ප්‍රහාරක යානා ඒ අතරින් කිහිපයක්.

     

    Latest News