කුසගින්නේ පිච්චෙන විලච්චියේ මිනිස්සු

නොවැ 03, 2022
  • අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 371 නවදාගම ග්‍රාමසේවා වසමට අයත් මහාහැලඹව ගම්මානේ පවුල් 25 ක පමණ ප්‍රමාණයක් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

    මෙම ගම්මානේ පවතින දුෂ්කරතාවයන් පිළිබඳ ව බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නැති බව ගම්වාසීහු පවසති. ආහාරපාන, සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග, ජලය, නිවාස ඇතුළු පොදු පහසුකම් කිසිවක් ඔවුන්ට නොමැති අතර වන අලි තර්ජනවලින් ද පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

    අහස් දියෙන් කුමන හෝ ගොවි තැනක් කරගෙන ජීවත්වන මෙම ගම්මානයේ දරුවන් බොහොමයකගේ පාසල් ගමන සිමාවී ඇත. දිනකට එක් වේලක් සරිකරගන්නා ගම්මු කියා සිටියේ අඩුමතරමේ ඇඳුමක් සෝදාගැනීමට සබන් හෝ නොමැති බවයි.

    ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ ධර්ම දේශනා සඳහා ලැබෙන සබන් කැටය පවා මේ ජනතාවට ලබාදෙන අතර පන්සලට දාන වේලක් හෝ ලබාදීමට නොහැකි තත්වයක් පවතින බව උන්වහන්සේ පවසති.

    මේ ගම්මානයේ වන අලි කරදරය නවතා ජල පහසුකමක් ලබා දෙන ලෙස ගම්මුන් පවසන්නේ, ඔවුන්ට තම දෑතේ සවියෙන් දිවි සරි කර ගත හැකි නිසයි.

    වෙනත් රටක වෙනත් ලෝකයක ලෙසින් ජීවත්වන මේ ජනතාවට සහය අවැසි ම මොහොතක් බව ඔවුන් දෙස සමීපව බලන ඕනෑම කෙනෙකුට පෙනී යයි.

    ප්‍රාදේශීය වාර්තාකරු - කාංචන ආරියදාස, දඹුල්ල

    Latest News