යල අස්වැන්නෙන් පළමු කොටස දළදා සමිඳුට

ඔක් 29, 2022

    යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ  “සිරි දළදා යල් අස්වනු පූජාව” ඊයේ ( 28) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන යල් අස්වනු පූජාව පැවැත්වූයේ 7 වෙනි වරටයි.

    දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්‍ය සහ රන් වී කරල් රැගත් ගොවීන් උඩ මහල වෙත ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වන ලදී. දුරාතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම සිහිපත් කරමින් මෙම යල් අස්වනු පූජාව පැවැත්වේ.

    වාරි ව්‍යාපාර 54ක සහ ගොවි සංවිධාන 894ක ගොවින් විසින් ඉකුත් යල කන්නයේ දි  නෙළා ගන්නා ලද නැවුම් සහලින් සකස් කළ කිරි ආහාර මෙහිදි දළදා වහන්සේ උදෙසා පුජා කෙරුණා.

    අනතුරුව ගොවි ජනතාව සිය අස්වනු දළදා මන්දිරයේ අස්වනු පූජා පාත්‍රයට පූජා කළා. ආදී වාසි නායක උරුවරිගේ වන්නිලඇත්තන් එහිදි ශ්‍රී දළදා වහන්සේ උදෙසා මීපැණි පූජාවක් ද පැවැත්වුවා. මේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    dlnda

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 11:05

    Latest News