අවකල් ක්‍රියාවෙන් පුටු අහිමි කරගත් අගමැතිවරු

ඔක් 30, 2018
    ජනාධිපතිවරුන් විසින් සිය අගමැතිවරුන් ධූරයෙන් නෙරපා හරිනු ලැබූ සිද්ධීන් මෑත වකවානුව පුරා රටවල් රැසකින් වාර්තා විය.
    ඇතැම් අග්‍රාමාත්‍යවරුන්, ජනාධිපතිවරයාගේ බලය ඉක්මවා ක්‍රියා කිරීමට යාම සහ වංචා හා දූෂණ පිළිබඳ සිද්ධීන් ඊට හේතුවයි. බෙලරුසියාවේ ප්‍රබල ජනාධිපතිවරයෙකු වූ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය අග්‍රාමාත්‍යවරයා හා රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු ඉකුත් අගෝස්තු මසදී ධූරවලින් නෙරපා හැරියා. ඒ, සෞඛ්‍ය ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක දූෂණ, වංචා සිද්ධීන් මුල්කර ගනිමින්. රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
     
    අදාළ තනතුරුවලට පත් කළ නව පුද්ගලයන් එවැනි ක්‍රියාවල නිරතවීම හා තම කටයුතු කඩාකප්පල් කිරීමෙන් වැළකී සිටීමට එය හේතු වනු ඇති බවයි, ජනාධිපති ලූකෂෙන්කෝ සඳහන් කළේ.
     
    යේමන ජනාධිපතිවරයා ද එරට අගමැතිවරයාව සිටි අහමඩ් බින්ඩාගර් පසුගියදා ධූරයෙන් නෙරපා හැරියා.  ඒ වෙනුවට පත් කරනු ලැබුවේ, මයීන් අබ්දුල් මලික් සයිඩ්.  මේ ක්‍රියාමාර්ගය එරට බහුතර ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් එරට 31දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය නෙරපා හැරියේ, ඉකුත් සැප්තැම්බර් 09 වැනිදායි.  අනතුරුව, සුළු රජයක් නිර්මාණය කරමින් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරනු ලැබීය.
     
    1975 වසරේ දී ඔස්ට්‍රේලියාවේ එවක අගමැතිවරයා වූ ගොෆ් විට්ලම් ධූරයෙන් නෙරපා හරිනු ලැබුවේ, ආණ්ඩුකාර ජෙනරාල් ජෝන් කේර් විසිනි. බාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්‍ෂ නායක මැල්කම් ෆ්‍රෙසර් පත්කරනු ලැබීය. මේ ක්‍රියාමාර්ගයට හේතු වූයේ විට්ලම් රජයේ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති වංචා සහ දූෂණවලින් පිරි පැවතීමයි.
    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 08:38

    Latest News