ගැබිනි බවටත් පරතරයක්

ඔක් 31, 2018

    මව්වරුන් දරුවෙකු බිහි කර තවත් ගැබ් ගැනීමක් සඳහා අවම ලෙස වසරක කාලයක් පසු කළ යුතු බව, නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. ඉන් මව්වරුන්ගේ මෙන්ම ළදරුවන්ගේ ද සෞඛ්‍ය ගැටළු අවම කර ගත හැකි බවයි පැවසෙන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පරිදි මාස 18ක කාලයක් ඒ සඳහා බලා සිටීමට අවශ්‍ය නොවන බව ද එම පර්යේෂකයින් පවසයි. ගැබ් ගැනීම අතර කාලය අඩුවීමෙන් නොමේරු ළදරු උපත්, බර අඩුකරුවන් බිහිවීම මෙන්ම ළදරු සහ මාතෘ මරණ සිදුවීමේ අවදානමක් ද පවතී.

    සිය පර්යේෂණයට අදාළ කරුණු වයස්ගත කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් තහවුරු කළ හැකි බව පර්යේෂකයෝ පවසති. වසර 35න් පසු පළමු වරට මව්වරුන් වන කාන්තාවන්ට සිය දරුවන් අතර පරතරය තබා ගැනීමට මෙය හොඳ මාර්ගෝපදේශයක් බව පර්යේෂණයට එක්වූ වෛද්‍ය වෙන්ඩි නෝර්මන් පවසයි.

    කැනඩාවේ සිදුවූ දරු උපත් 150,000ක් (එක් ලක්ෂ පනස් දහසක්) අධ්‍යයනය කරමින්, බ්‍රිටිෂ් කොළොම්බියා විශ්ව විද්‍යාලය සහ හාර්වඩ් සෞඛ්‍ය විද්‍යායතනය එක්ව මෙම පරීක්ෂණය සිදුකර තිබේ. මෙම පර්යේෂණයේ නිගමනය "ජාමා ඉන්ටර්නල් මෙඩිසින්" සගරාවෙහි පළකර ඇති බව වාර්තා වෙයි.

    Last modified on බදාදා, 31 ඔක්තෝබර් 2018 18:27

    Latest News