උපන්දිනය දා කොවිඩ් ප්‍රතිකාර සඳහා රු.මිලියනයක් දුන් තරුණයෙක්

අගෝ 27, 2021

    කටාන, වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවොන් සිල්වාපුල්ලේ මහතා ඊයේ (26) සිය 19 වන උපන්දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ තොගයක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් ලබාදීමට කටයුතු කළේය.

    ඒ අනූව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මෙම පරිත්‍යාගය සිදුකළේය.

    මල්ටිපැරා මොනිටර්ස් 02ක්, නෙබියුලයිසර් 05ක් ඇතුළුව රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබාදීමට ට්‍රෙවොන් මහතා මෙහිදී කටයුතු කරන ලදි.

    තරුණයින් සිය උපන්දින සාද පවත්වමින් විනෝදවන සමයක රටේ ව්‍යවසනයට පත්වෙලා සිටින රෝගීන් වෙනුවෙන් සත්කාර කිරීමට මෙවැනි පරිත්‍යාග කිරීම පිළිබදව සිය ස්තුතිය පුදකල රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ, ඉතා හොද පණිවිඩයක් රටටත්, තරුණ ප්‍රජාවටත් මේ හරහා ලබාදී ඇති බවයි.

    මෙම පරිත්‍යාගය තුළින් ව්‍යවසනයට පත්වී සිටින රෝගීන්ගේ සත්කාර වෙනුවෙන් භාවිතා කිරීමට මනා පිටිවහලක් වන බවත් අමාත්‍යවරයි ප්‍රකාශ කළාය.

    එමෙන්ම ඔහුට සුබපැතුම් එක්කිරීමටද අමාත්‍යවරිය මෙහිදී කටයුතු කළාය.

    මෙම අවස්ථාවට ට්‍රෙවොන් සිල්වාපුල්ලේ මහතාගේ පියාණන් වන ක්‍රිස්ටි සිල්වාපුල්ලේ මහතා, මව ලක්ෂ්මි කුරේරා මහත්මිය සහ වෛද්‍ය ශිෂ්‍යාවක වන සොහොයුරිය විබෝධා සිල්වාපුල්ලේ මෙනවිය එක්වූහ.

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 10:41

    Latest News