ශ්‍රී ලංකාවට ආවේණික හබන් කුකුළා සිංහරාජයේ (විඩියෝ)

ජන 30, 2019
  • සිංහරාජ ලෝක උරුම වනභූමිය ශ්‍රී ලංකාවට මෙන්ම ඊට ආවේණික ශාක, ජීවින් මෙන්ම පක්‍ෂීන් සමූහයකට උරුමකම් කියනවා.

    එම වනාන්තරයේ දී පවා දැක ගැනීමට ඉතා අසීරු ශ්‍රී ලංකාවට ආවේණික හබන් කුකුළා දැකගත හැකි විශේෂ ස්ථානයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. දෛනිකව විදේශිකයන් ද මේ ස්ථානයට පැමිණෙන්නේ හබන් කුකුළා පහසුවෙන් දැකගැනීම උදෙසායි.

    සිංහරාජ වැසි වනාන්තරයේ වැද්දාගල, කුඩව ප්‍රවේශ මාර්ගය දෙසින් කොස්ගුලන දක්වා යන දුෂ්කර මාර්ගයයි මේ. එහිදී හබන් කුකුළා දැක ගැනීමට නම් උදෑසන 6.00ට පමණ වනවිට යායුතු බව අප හා ප්‍රකාශ කළේ සිංහරාජයේ වන සංරක්‍ෂණ නිලධාරීන්.

    පක්‍ෂීන් නැරඹීමට ඇලුම්කරන විදේශිකයන් බොහෝ දෙනෙකු එදිනත් මේ නිවස වෙත පැමිණ සිටියා. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරවලටම පමණක් ආවේණික හබන් කුකුළා පහසුවෙන් දැකගත හැකි මේ ස්ථානය පිළිබඳව ඇතැම් විදේශිකයින් සිය රටවලදී හා සමහරු සිංහරාජයේ වන සංරක්‍ෂණ නිලධාරීන්ගෙන් දැනගන්නා බවයි අපට දැනගන්නට ලැබුණේ.

    රහසිගත ජිවිතයකට ඇලුම්කරන හබන් කුකුළා කුඩා ශබ්දයකටත් බියවී පලායන කුලෑටි පක්‍ෂියෙක්. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 30-35ත් අතර දිගැති කුඩා පක්‍ෂියෙකු වීම නිසා වන වදුලු තුළ දී දැකගැනීමට ඉතා අසීරු වනවා. හබන් කුකුළන් ආසන්නයේ ගැවසෙන බවට හඳුනාගත හැකි එකම ක්‍රමය නම් පිරිමි සත්වයාගේ හඬ නැගීමයි.

    පිරිමි හා ගැහැණු සතුන් බොහෝ විට එක්ව සැරිසරන අතර අසීරුවෙන් වුව දැකගත හැකි වන්නේ සිංහරාජය, කන්නෙලිය හා කිතුල්ගල ආශ්‍රිත වැසි වනාන්තර කලාපවලයි. පිරිමි සත්වයාගේ ගෙල ප්‍රදේශයේ සිට සුදු පැහැති අලංකාරවත් පුල්ලි සමූහයක් දක්නට ලැබෙන අතර, ගැහැණු සත්වයාගේ ශරීරය ඒකාකාරී දුඹුරු පැහැයක් ගන්නවා.

    සිහින් ශබ්දයකදී හෝ මිනිස් රුවක් දුටුවිටදී හෝ වේගයෙන් දිවගොස් සැඟවෙන හබන් කුකුළා දැකබලා ගැනීමට පැමිණෙන සියලු දෙනාගේ වගකීම වන්නේ මේ ස්ථානයේ දී නිශ්ශබ්දතාවය ආරක්‍ෂා කර ගැනීමයි. හබන් කුකුළාට අමතරව ශ්‍රී ලංකාවේ ජාතික පක්‍ෂියා වන වළිකුකුළා, අවිච්චියා, අලුදෙමලිච්චා ඇතුලු සංක්‍රමණික පක්‍ෂි විශේෂ කිහිපයක් ද එම ස්ථානයකදී දැකගත හැකිවීම එහි ඇති විශේෂත්වයයි.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 20:49

    Latest News